Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4102 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8845
Member Since : 2013-10-18

සෙවණැලි... Empty සෙවණැලි...

2019-06-01, 5:04 pm
ඒ පාලු වීදියෙ ගමන් කලේ ඔහු පමණය.
 
හාත් පසම ආලෝකමත් වී තිබුණේ හිරු එළියෙනි. නමුත් ඔහු හැකි තාක් වෙර දැරුවේ ඒ තද හිරු එලිය මග හැර යාමටය. අඳුරු සෙවණැලි වලින් සෙවණ වුණු මේ පාළු වීදිය තෝරා ගැනීමටද ඔහුට එය හේතුවක් විය.
 
ඔහු කිහිප වතාවක් පසුපස බැලුවේය.
 
කවුරුන් හෝ තමා හඹා එන්නාක් මෙන් ඔහුට දැණිනි. හඹා එන්නෙකු ඔහුට දකින්නට සිටියේද නැත. නමුත්, කිසිවෙකු පසුපසින් එන බවට සැකයක්ද ඔහුට නැත. ඔහු ඉදිරියට ගමන් ආරම්භ කළේ මෙවන් චකිතයකට ලක් වුණු සිතකිනි. ඔහුගේ ගමන ඉක්මණ් වූයේ පා පැකිළෙන තරමේ වේගයකිනි.
 
ඔහුගේ සිතුවිලි තව තවත් තදින් ඔහුට අනතුරක සේයාවක් පෙන්වා දෙන්නට උත්සාහ කළේය. ඔහු හැකි ඉක්මණින් ඔහුගේ ගමන් මග වෙනස් කර පාලු ගොඩනැගිල්ලකට ඇතුළු විය. එතැන් පටන් ඔහුගේ ගමන තවදුරටත් ඇවිදිල්ලක් වූයේ නැත. ගොඩනැගිල්ලේ මූසල අඳුර තුලින්  ඔහු ඉදිරියට දිව යන්නට විය.
 
ඔහුට හැකි උපරිම වේගයෙන් ඔහු දිව යන්නට උත්සාහ කළේය.
 
එක්වරම යමක ගැටුණු ඔහු  විසිවී වැටි ගියේ ගොඩනැගිල්ලේ පලුදු වී ගිය වහලය තුලින් වැටි තිබූ තද හිරු එළිය වෙතටය. ඒ සමඟ ගැටුණු ඔහුගේ සම පිළිස්සී යත්ම ඔහුගෙන් නිකුත් වුයේ වේදනාත්මක කෑ ගැසිල්ලකි. වහාම එතනින් ඉවත් වීමට උත්සාහ දරමින් ඔහු පෙරලී ගියේය.
 
උඹ කිව්වා හරි. ඒක ඇත්ත! උන් ඇත්ත!!
 
අන්ධකාරය තුළින් නැගුණු කෙඳිරිල්ලක් ඔහුට ඇසිණි.
 
නමුත් ඒ සියල්ල පරදවමින් ඔහුගේ හදවත තවමත් දෙදුරුම් කෑවේ ඉමහත් තැති ගැනීමකිනි. ඔහුගේ දෙසට යොමු වී තිබුණු ඇස් වලින් ගලාගෙන ආ මරණීය භීතිය ඔහුටද දැනිණි. 
 
"එපා මට යන්න දෙන්න."
 
ඔහුගෙන් නිකුත් වූයේ සිහින් වෙව්ලීමක් පමණි. නමුත් ඔවුහු ඒ කිසිවක් පිළිබඳ තැකීමක් සිදු නොකළහ. ඔහු ඔහුගේ උපරිම උත්සාහය දැරුවේ නැවතත් නැඟිට දිව යාමට වුවත් පාදයෙන් නැගුණු වේදනාව ඔහුට ඊට ඉඩ නොදුන්නේය.
 
ඔහු වෙතට ඇදෙන ඡායාවන් දෙස ඔහු නැවත වරක් හැරී බැලුවේය. නමුත් ඒ දෙදෙනෙක් ද, තිදෙනෙක්, සිව් දෙනෙක්ද ද යනුවෙන් ගැණීමට ඔහුට හැකියාවක් නොවීය. ඔහුට ඊට වුවමනාවක්ද නොවීය. ඔහුට වුවමනා වූ එකම දෙය වූයේ ඔවුන්ගෙන් ගැලවී එතනින් දිව යාමට පමණි.
 
එහෙත්, එය කළ නොහැක්කක් බව මේ වන විටත් ඔහුට හැඟී ගොස් අවසන්ය.
 
ඔහුගෙ හදවත මොහොතක් මොහොතක් පාසා නිරන්තරයෙන්ම දිව ගිය තැනට, තවත් එක් මොහොතකට නැවතත් දිව ගියේය.
 


***************************************************************


 
අහස වසා තිබූ වැහි වලාකුළු නිසා තවත් අන්ධකාරයක් රාත්‍රී පරිසරයට මුසු වී තිබිණි. සීතලත් සමඟ පැමිණෙමින් තිබූ ගණ මීදුම අතරින් පැතිරුණු ඒ අන්ධකාරය තුළින් ඔහු ඉදිරියට පැමිණියේ ය. ඒ වන විටත් අවට රැඳෙමින් සිටි පිරිස ඉවත් කිරීමට නිලධාරීන් කටයුතු කරමින් සිටි ආකාරය ඔහු දුටුවේය.
 
පොලිස් නිලධාරියෙකු ඔහු වෙතට තම ලන්තෑරුම් එළිය යොමු කළේය.
 
"එඩ්වඩ් ක්‍රේන්. ස්කොට්ලන්ඩ්යාඩ්."
 
ඔහුගේ හඬ සමඟ නිලධාරියා ඔහුට ආචාර කළේය.
 
"සමාවෙන්න මහත්මයා. අපි ඔබව බලාපොරොත්තුවෙන් හිටියෙ. මගෙත් එක්ක එන්න."
 
ඔහු පොලිස් නිලධාරියා සමඟ අනෙකුත් නිලධාරීන් අතරින් ඉදිරියට ගමන් කරන්නට විය. එක්වරම දුටු දසුන හේතුවෙන් ඔහු එක තැන නතර විණි.
 
"දෙවියනේ!"
 
එම වචන වල නිවැරදි බව අනුමත කිරීමට මෙන් නිලධාරියාද දිගු සුසුමක් හෙළුවේය. මුලින්ම මෙය සොයාගත් මොහොතේ ඔහුටද කියවුණේ මෙය නොවේදැයි ඔහුගේ මතකයට නැගිණි.
 
ලී උලක් මත හිඳුවා තිබූ ඒ සිරුර තරුණයෙකුගේ විය. රන් පැහැති හිසකෙස් තිබුණු ඔහුගේ පසුපසින් විනිවිද ගොස් තිබූ එම උල නැවත මතු වී තිබූයේ ඔහුගේ හදවත පසාරු වන අයුරෙනි. මුහුණ ඇතුළුව, ශරීරයේ සම නිරාවරණය වී තිබූ කොටස් පමණක් පිළිස්සී ගොස් තිබූ අයුරු ඔහුට පැහැදිලිව දැක ගත හැකි විය. ඒ දරුණු ගණයේ පිළිස්සීම් කෙතරම් වේදනාත්මක ඒවා වන්නට ඇත්දැයි ඔහු සිතුවේය. සිරුර පිටුපසට බර වීම හේතුවෙන් හිස ඉහළට එසවී තිබිණි.
 
ඔහු පියවරෙන් පියවර මළ සිරුර වෙතට ළං වූයේය. සිරුරේ නිල් පැහැති දෑස් වලින් පිළිඹිබු වුණු භීතිය සහ වේදනාවෙන් විකෘත වුණු මුහුණ, එඩ්වඩ් ක්‍රේන්ගේ සිතට තදින් කා වැදිණි.
 
පසුගිය මාසය තුළ මේ ආකාරයෙන් මුණ ගැසුණු තෙවන සිරුර මෙය ලෙස ඔහු තම මනසේ සටහන් කර ගත්තේය. මිනීමැරුම් සියල්ල සිදු කර ඇති ආකාරය පමණක් නොව ඒ සියල්ලේම පිළිස්සුම් සලකුණුද එක හා සමාන බැව් ඔහු අවබෝධ කර ගත්තේය. මෙය සිදු කරනු ලැබූ දාම මිනීමරුවා කවරෙකු වුවත් ඔහු ඉතා භයානක පුද්ගලයෙකු බව ඔහුට නැවතත් වැටහිණි.
 
ඔහුගේ ජීවිතයේ මුහුණදුන් බිහිසුණු අත්දැකීම් එකින් එක, රූප මාලාවක් මෙන් ඔහුගේ මනසට ගලා එන්නට විය. මෙම තරුණයාට සහ අනෙකුන්ට අත් වන්නට ඇත්තේ කුමන ආකාරයේ ඉරණමක් දැයි ඔහු ඒවා සමඟ සසඳන්නට වූයේය.
 
සත්‍ය වශයෙන්ම, මෙය මෙම දාමයේ තෙවන මිනීමැරුමද එසේත් නොමැති නම් සිව්වන මිනීමැරුමද ලෙස ඔහුගේ මනස ඔහු සමඟම තර්ක කරමින් සිටියේය.
 
සියල්ල ආරම්භ වූයේ පරණ ගොඩනැගිල්ලක් තුළ තිබී හමුවුණු මෙවැනිම ආකාරයෙන් පිළිස්සී ගිය මලසිරුරෙන් පසු නොවේදැයි ඔහු සිතීය. එය ලී උලක් මත රඳවා නොතිබූ නමුත්, ලී උලක් පපුව තුලට යවා තිබීමෙන් සිදු කළ මිනීමැරුමක් වුවත්, පිළිස්සුම් වල ස්වභාවය තුළින් ඔහුගේ අවධානය ඉවතට ගැනීමට එඩ්වඩ් ක්‍රේන්ට හැකියාවක් නොවීය.
 
එය, මේ සියල්ල සඳහා සිදු කරන ලද පෙර පුහුණුවක් වන්නට ඇති බැව් ඔහු අවසානයේ නිගමනය කළේය.
 


***************************************************************


 
රාත්‍රී එකොළහේ කණිසමේ ශබ්දය ඔහුට හොඳින් ඇසිණි. එයින් වූයේ ඔහු තවත් නොසන්සුන් වීමය.
 
විටින් විට හමා යන තද සුළඟෙන් ඇඹරෙන ගසක හඬ ඇසුණු නමුදු නිවස තුළ වූයේ මළවුන්ගේ නිහඬතාවක් නොවේදැයි ඔහුට සිතිණි. ඒ නිහඬතාව ඔහුට දරාගත නොහැකි විය. ඔහු කාමරයේ එහා මෙහා ඇවිද ගියේ සිතෙහි තිබූ දැඩි කම්පනය හේතු කොටගෙන ඒ නිහැඬියාව මකා දැමීමටය. ඇවිද යන සෑම මොහොතකටම වරක්ම නැවතී, මහ හඬින් ඔහුට ඇසුණු ශබ්දය කුමක්ද යන්න ඔහු විපරම් කළේය. ඒ තමාගේ හදවතේම ගැස්ම බැව් ඔහු අවබෝධ කර ගනු ලැබුවත් ඊළඟ මොහොතේ ඔහුට එය නැවතත් අමතක විය.
 
ඒ තරමටම ඔහුගේ මනස නොසන්සුන් විය.
 
මේසය මත තිබූ පහනේ ආලෝකය දෙස ඔහුගේ අවධානය එකවරම යොමු විය. කාමරයම ආලෝකමත් කළ ඒ දීප්තිමත් ආලෝකය මෙතැන් සිට මසකට පෙර සිදු වූ සියලු දෙයක්ම ඔහුගේ මනස තුළ යළි මවන්නට විය.
 
සෙවණැලි තුළින් හිරු එළිය අප්‍රිය කරමින් දුව ගිය ඒ තරුණයා බොහෝ කලක සිට ඔහුගේ අවධානය යොමු කරගත් ආකාරය ඔහුට මතක් විය. පළමු වරට ඔහු හිරු එළියෙන් දැවී ඔහුගේ රහස හෙළි වූ මොහොත ඔහුට මතක් විය. තම මිතුරන් සමඟ එකතු වී ඔහුගේ පපුව තුළට ලී උලක් කිඳවූ ආකාරයද ඔහුට මතක් විය. 
 
ඒ මොහොතේ ඔහුගේ සිතට දැනුණු සහනයේ අවශ්‍යතාව ඔහුට මේ මොහොතේද තදින්ම දැනිණි. මන්ද, මේ වන විට ඔහුගෙන් ඉතාමත් ඈතට ඒ සහනය පළාගොස් තිබූ හෙයිනි.
 
ඔහුගේ මිතුරන් තිදෙනා මියගොස්ය. ඔවුන් නැවතත් අවදි නොවනු ඇත.
 
විල්ලුව මැද නිවසේ සැඟවී දින කොපමණ ගත විණි දැයි ඔහු අවසිහියෙන් මෙන් කල්පනා කළේ ය. එය බොහෝ දින ගණනක් ලෙස පමණක් ඔහුගේ මතකයේ තිබිණි.
 
එක්වරම හමා ආ සුළඟකින් විවෘත වුණු කාමරයේ ජනේලයේ හඬින් ඔහුගේ ශරීරයම සලිත වී ගියේය. ජනේලය තුළින් ගලා ආ අන්ධකාරයකින් පිරී ගියාක් මෙන් කාමරය එක්වරම අන්ධකාරයේ ගිලිණි. නැවතත් යථා තත්ත්වයට පත් වී සිදුවීම අවබෝධ කර ගැනීමට ඔහුට බොහෝ වෙලාවක් ගතවිය. තව දුරටත් අන්ධකාරයේ සිටීමට බිය වූ ඔහු හැකි ඉක්මණින් නැවතත් පහන දල්වාලීය. පහන් ආලෝකය සෙමෙන් කාමරය තුළින් ගලා යන්නට විය.
 
කාලවර්ණ ඇඳුමෙන් සැරසී ඔහු ඉදිරියෙන් සිටගෙන සිටි අද්භූත පුද්ගලයා ඔහු දුටුවේ එවිටය.
 
මහත් තැති ගැනීමෙන් දෙපා අප්‍රාණික වූ ඔහු බිම වැටී මරු විකල්ලෙන් මෙන් දඟලන්නට විය. මහත් ආයාසයෙන් ඔහු පිට කළ ශබ්දය ජීවමාන ශබ්දයක් ලෙසින් ඔහුගේ මුවින් නොගිලිහිණි. 
 
අමුත්තා තවමත් සන්සුන්ය. ඔහු සෙමෙන් අඩිය තබමින් පැමිණ වැටී සිටි පුද්ගලයා වෙත නැඹුරු විය. සුවිසල් දෑසින් ආගන්තුකයා දෙස බලා සිටියදී ආගන්තුකයාගේ මුහුණ පහනේ ආලෝකයෙන් ආලෝකවත් විය.
 
මේ ලෝකෙ හොඳ, යහපත, සතුට පැහැදිලි කරන්න තිබුණ හොඳම උදාහරණය මගේ ජෙෆර්සන්. ඒත් උඹලා හතරදෙනා එයාව සතෙක් වගේ මරලා දැම්මා.
 
ආගන්තුකයාගේ ගැඹුරු හඬ ඔහුගේ ආත්මයම ග්‍රහණය කර ගන්නාක් මෙන් ඔහුට දැනිණි.
 
එයා ඉර එළියට ගොඩක් සංවේදී කෙනෙක්."
 
ආගන්තුකයාගේ මුහුණේ ස්වරූපය වෙනස් විය. ආගන්තුකයාගේ දෑස් වල තිබූ කෝපය සහ වේදනාව ඔහු දවාලන්නාක් මෙන් ඔහුට දැනිණි.
 
"උඹ ඒ හැම දෙයක්ම දැනගෙන හිටියා. ඒ පාරෙන් හෙවණැලි වලට මුවා වෙලා හැමදාමත්ම එයා ආවෙ ඇයි කියන දේ උඹ දැනගෙන හිටියා."
 
ආගන්තුකයාගේ හඬ ඔහුගේ කණ් වල දෝංකාර දෙන්නට විය. ඒ හඬ අතරින් ඔහුගේ මතකය නැවත වරක් සැගවුණු අතීතයක් කරා දිව ගියේය.
 
එම අහිංසක තරුණයාගෙන් තමන් කැමැත්ත ඉල්ලූ ආකාරයත්, එය නොලැබුණු තැනදී ඔහුගේ පහස විඳ ගැනීමට පහත් ලෙස තමන් බලහත්කාරයෙන් උත්සාහ දැරූ ආකාරයත්, ඔහුගෙන් ලැබුණු පිළිකුල් සහගත ප්‍රතික්ෂේප කිරීමත් අවමානයත් ඔහුට ජීවමාන ලෙස ඇස් ඉදිරියේ මැවී පෙනෙන්නට විය.
 
එතැන් පටන්, ඔහුව කුරිරු ලෙස මරා දැමීම සඳහා ඔහු ගත් සැලැස්මත්, තමාගේ මිතුරන්ට ඔහු කුමන ආකාරයේ පාපකාරී සත්ත්වයෙක්ද යන්න පියවරෙන් පියවර ඒත්තු ගැන්වූ අයුරුත් ඔහුගේ මතකයට නැගිණි.
 
උඹ කිව්වා හරි. ඒක ඇත්ත! උන් ඇත්ත!!
 
ඔවුන් සියළු දෙනා තමා ගොඩනැගූ මායාව පිළිගත් අයුරු ඒ මොහොතේත් ඔහුගේ කණ් අසලින් මුමුණන්නට විය.
 
"මාව පුච්චන්න එපා! මාව පුච්චන්න එපා!!"
 
කඳුළු අතරින් තරුණයා කෑ ගැසූ අයුරු ඔහුගේ ඉදිරියේ මැවී පෙනිණි. ඒ සියල්ල බොඳවී යත්ම ඔහුගේ ඉදිරියෙන් දිස් වූයේ ආගන්තුකයාගේ මුහුණය.
 
"අනේ මාව පුච්චන්න එපා! මාව මරන්න එපා!!"
 
මරණීය භීතිය ඔහුට මේ වන විටත් දැනෙමින් තිබිණි. ඔහු ඉදිරියෙන් තිබුණු දෑස් වලින් ඔහුගේ මිතුරන් තිදෙනාට අත් වූ ඉරණම ඔහුට මැවී පෙනෙන්නට විය. ආගන්තුකයා ඔහු දෙසට නැවත වතාවක් නැඹුරු විය. ඔහුගේ මුහුණේ සංකීර්ණ පෙනුමක් විය.
 
"නෑ. මේ ලෝකෙ මරණයට වඩා භයානක, වේදනාත්මක දේවල් හුඟක් තියෙනවා කියලා උඹ දැනගන්න ඕනෙ."
 
ආගන්තුකයාගේ මුව දෙපසින් දිගු වූ සුදු පැහැති දත් යුගලය ඔහු දුටු අවසාන දසුන විය. ජනේලයෙන් ආ සැඩ සුළඟකින් කාමරයේ පහන නැවතත් නිවී ගියේය. ආත්මීය භයකින් යුත් මරණීය කෑ ගැසීමක් ඔහුගෙන් නැගිණි.
 
එහෙත් ඒ විල්ලුවේ ඔහුගේ කෑ ගැසීම ඇසීමට කිසිවෙකුත් නොසිටියේය.
 
 
නිමි
omiomira
omiomira
Regular Member
Country : Sri Lanka
Posts : 62
GetReal Gold : 4117
Member Since : 2018-10-03

සෙවණැලි... Empty Re: සෙවණැලි...

2019-06-01, 7:50 pm
wooow Jith Bro kalekin patta thrilling kathawak

godak lassanai 

awesome
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13716
Member Since : 2013-01-29

සෙවණැලි... Empty Re: සෙවණැලි...

2019-06-07, 3:29 pm
ජිත්ගෙන් ආයෙත් කථවක්. වෙනදා වගේම ලස්සනයි මල්ලි.
Gagana
Gagana
memebrs with 1 post
Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 6373
Member Since : 2015-07-30

සෙවණැලි... Empty Re: සෙවණැලි...

2019-10-27, 5:53 pm
ඒහ්..  මේ වගේ කතාවක් තව ලියනවකො 🙄
නැත්තන් තව ටිකක් දිගට ලියන්නෝනෙ 🙄
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12453
Member Since : 2013-05-31

සෙවණැලි... Empty Re: සෙවණැලි...

2020-04-18, 3:11 am
අදයි කියවන්න උනේ මල්ලි .....................I love youI love youI love youI love youI love youI love youI love you
Sponsored content

සෙවණැලි... Empty Re: සෙවණැලි...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum