- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13712
Member Since : 2013-01-26
ශිශිරයේ තවත් එක දවසක්
2019-11-29, 7:42 am
මේක කෙටිම කෙටි කතාවක්. කොච්චර කෙටිද කියනවා නම් මේකෙ තියෙන්නෙ එක කොටසක් විතරයි. සිංහලෙන් මෙච්චර ගොඩක් ලියන්නේ ගොඩාක් කාලෙකට පස්සේ නිසා ගොඩක් වැරදි ඇති. ඒකට මට සමාවෙන්න.
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13712
Member Since : 2013-01-26
Re: ශිශිරයේ තවත් එක දවසක්
2019-11-29, 8:05 am
ශිශිරයේ තවත් එක දවසක්
මම ඝන වීදුරුවෙන් පිටත බලාගෙන, මගේ සුපුරුදු තැන, සෙන්ට්-(හ්)ඔනොරෙ ආපනශාලවෙ කෙලවර. හතර මං හන්දියේ හතර පැත්තම මෙතනට හොඳින්ම පේනවා. වෙලාව සවස 4.30ට පමණ වුණත් ශීත කාලය නිසා හතර අතම කළුවරයි. හරියට ලංකාවේ රෑ 8, 9 වගේ. දවස තිස්සෙම පශ්චාත් උපාධි නිබන්ධනයේ වැඩත් එක්ක මහන්සි වෙලා තිබුණ හිත ටිකක් නිදහස් කරගන්න මෙතන කියාපු තැන. මම මගෙ මුද්දරප්පලම් දැමූ ගොළුබෙල්ලා (Escargot aux raisins- ප්‍රංශ බේකරි කෑමක්) ගෙන් කෑල්ලක් කන ගමන් ග්‍රීන් ටී එකෙන් උගුරක් බිව්වා. ලංකාවෙ ගොඩක් අය ග්‍රීන් ටීබොන්න කැමති නැත්තේ තිත්තයි කියල. ඒකට හේතුව ලංකාවෙ ගොඩක් අය නටන උණු වතුර දාල ග්‍රීන් ටී එක පුච්චගන්නවා. සෙල්සියස් 70ට වගේ නිවුණ උණු වතුරට තේ එක දාල විනාඩි 3න් 4න් පෙරල ගන්නකොටයි ඒකෙ ගතිය තියෙන්නෙ. වාහන එකක් පිටිපස්සෙ එකක් ලස්සනට මේ වැඩ ඇරෙන වෙලාවේ යන හැටි දකින්නත් ආසයි. අනිත් පැත්තෙන් කලින් හන්දියට ආව වාහනයට ඉඩදීල ඊලඟ වාහනය එයාගෙ පැත්තට යන්නේ. ලංකාවෙ නම් වැඩ ඇරෙන වෙලාවට මෙහෙම දෙයක් කවදාවත් දකින්න ලැබෙයි ද කියල මට හිතුණා. වීදීලාම්පු එළියෙන් හිම වැටුණ පාර අවට ලස්සනට පේනවා. ලස්සනට පෙනුනට මාස 5ක් විතර දිග කැනේඩියානු ශීත කාලය උහුලන්න ගියාමනෙ එපා වෙන්නේ. "මාස දෙකක් දෙක හමාරක් හිම වැටිල සති දෙකකින් වගේ හිම දියවුණොත් මට නම් ඒ වැඩිත් එක්ක". මම එහෙම කිව්වේ ශිශිර වෙළඳපොලේ වැඩ කරන දවසක ඈන් එක්ක. "මට නම් හිම ඕනි දවස් දෙකයි අවුරුද්දටම, නත්තලට කලින් දවසයි, නත්තල් දවසයි". ඒ ඈන්. "බලාගෙන හිටපන් දවස් දෙකක් හිම වැටිල නතර වෙනකල්" මම එහෙම කියල හිනාවෙලා පාරිභෝගිකයෙක් දිහාට හැරුණා.
මේ වගේ තනිවම ඉන්න වෙලාවට ජීවිතේ මතකයන් චිත්‍රපටියක් වගේ මතකෙට එනවා. සමහර වෙලාවට අපි ඒ මතයන් අතර අතරමං වෙනවා. කොච්චර මිහිරියි අමිහිරියි කීවත් ඒ හැම මතකයකම අමුතු මිහිරක් තියනවා. හරියට තිත්තම තිත්ත එක්ස්ප්‍රෙස්සෝ කෝපි එකක් අසාවෙන් බොනවා වගේ. එහෙම බොන අය දිහා මම බලාන හිටියත් තවම මට එක්ස්ප්‍රෙස්සෝ කෝපි බොන්න බැහැ. "අයියේ මට ඇයි කොල්ලෙක් හරියන්නේ නැත්තේ?" එහෙම ලඟදි මුහුණු පොතේ පණිවිඩයක් එවල තිබුණේ මිරෝන්. "ඇයි දැන් ඉන්නවා කිව්ව කොල්ලා?" දෙන්න හිටපු විදියට මට හිතාගන්න බැරුවගියා. "ඒකත් ඉවරවුණා. හැමෝම මාව දාල යනවා. මේ කීවෙනි ආදරයද? මට දැන් ජීවිතේ හැමදෙයක්ම එපා වෙලා". "ඉතින් ඇයි හැමෝම දාල යන්නේ කියල ටිකක් හිතුවද?" මම එහෙම ඇහැව්වා. "මම හිතන්නේ මගෙ ලොකු අඩුවක් තියනවා" එයා එහෙම කිව්වා. "එහෙනම් මම ආදරේ කරන්න ඇත්තේ ඒ අඩුවට" මට එහෙම කියවුණා. "මම බබෙක් වගේලු හැසිරෙන්නේ. වෙලාවකට චුට්ටක්වත් පරිණත විදියට හිතන්නේ නැහැල්ලු". ආහ්, එහෙනම් ඒකටම තමයි අම්ම ගොඩාක්ම ආදරේ කලේ. මට ඒ වෙලාවෙ මතක් වුනේ ඒක. සමහර වෙලාවට මිනිස්සුන්ට තමන්ට ගොඩාක් ආදරේ කරන අයව වටින්නේ නැති වෙලා, තම්න් ගේ ඇඟට ගොඩක් ආදරෙ කරන මිනිස්සු වටින්න පටන් ගන්නවා. එහෙම වුණ ආදර කතා වල අවසානය කොහොමද වෙන්නේ කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.
අපි හැමදාම අපිට ඒ නොලැබුණ ආදරයන් ගැන බලාපොරොත්තු එක්ක ජීවත්වෙනවා. එහෙම ජීවත් වෙන්න වෙන්න ඒ බලාපොරොත්තුත් එක්ක ජීවත් වෙන එක පුරුද්දට යනවා. සමහරවෙලාවට ජීවිතේ වෙන සමහර හමුවීම් ඒ පුරුදු වෙනස් කරනවා. හැබැයි ඒ හමුවීම් වෙන්වීම් වෙනකොට අපි ආයෙත් සැරයක් පරණ කෙනාම වෙනවා. සමහර වෙලාවට පරණ කෙනාටත් වඩා පහලට වැටුණ කෙනෙක් වෙනවා. ඒ කොහෙට වැටුණත් අපි අපේ බලපොරොත්තු එක්ක හෙටත් ජීවත් වෙනවා. මම තවමත් වීදුරුවෙන් එලිය බලාගෙන. ඇස් දෙක වීදුරුවෙන් එලිය බලන් උන්නට හිත කොහේ බලාගෙන ඉන්නවද කියල මටවත් හිතාගන්න බැහැ. එලියේ අඩ අඳුරත් ආපනශාලාව ඇතුලේ පහන් ආලෝකයත් නිසා සමහර වෙලාවට වීදුරුව කැඩපතක් වෙනවා. ඇතුලේ මිනිස්සු මේස වල මුහුණින් මුහුණ බලාගෙන කෝපි බොමින් කතා කරන හැටි, වේටර්වරියන් ලහි ලහියේ එහෙ එහෙ දුවමින් වැඩ කරන හැටි, බැරිස්ටා කෝපි හදන හැටි....., මුදල් අයකැමිවරිය ළඟ පෝළිමක්ම මිනිස්සු. මේ සෙන්ට්-(හ්)ඔනොරෙ බේකරිය මේ අහල පහල හැමෝම යන එන තැනක්. අයකැමිවරිය ළඟ පෝලිමේ කොල්ලෙක් කෙල්ලෙක්ට ඇඟිල්ලෙන් බඩට අනිනවා. මට වීදුරුවෙන් මත පිටිපස්සෙ වෙන දේ දැකල හිනාගියා. ඒත් ඒ අඩි පහයි තුන්කාලක විතර උස, ඒ මුහුණේ ඡායාව පුරුදුයි වගේ පෙනුණ නිසා මම පිටුපස හැරිල බැලුවා. ඔව් ඒ එයා තමයි.
ඉස්සර බෙල්ල ළඟට දික් කරල තිබුණ ලා දුඹුරු පාට රැළි ගැහුණ කොණ්ඩය කොටට කපල හිටියට, වෙනදා දැකල පුරුදු දීප්තිමත් කබායන් වෙනුවට තද අළු පාට හිම කබායක් ඇඳන් උන්නට, ඒ බබළන නිල් ඇස්, හිනාවෙනකොට වල ගැහෙන කම්මුල්, ඒ ඔයාම තමයි. "ජෙ සුඉ අන්ත්වාන්, අන්ත්වාන් ට්‍රම්බ්ලේ. ආශන්තේ". 'අන්තිම' අවස්ථාව කැබරෙ (Cabaret De La Dernière Chance) එකේදි මම ඔයාව මුළින්ම දැක්කේ එදා. එ(න්)රිකේ ඔයාව මට අඳුන්වල දෙනකොට ඔයා මූණට වැටුණ කෙහෙ රැල්ලක් අයින් කරල මට අතට අත දුන්නා. අපි විද්‍යාගාරයේ යාළුවෝ ටික එදා ඇවිත් හිටියේ මරියෝන් ගේ ආචාර්‍ය උපාධිය සමරන්න. ඔය දිලිසෙන ඇස් තවත් දීප්තිමත් කරල ඔයා මම එක්ක හිනාවුණා. එදා එහෙම ආගන්තුකයෙක් වාගේ හමුවුණ අපි අද ආගන්තුකයන් වගේම වෙලා එකිනෙකාව අඳුනන්නෙවත් නැහැ වගේ එක තැන දෙතැනක ඉන්නවා. ර්(හ්)වයින් නොර(හ්)න්ඩාවට (rouyn Noranda) මම ඇවිත් මාස දෙක තුනක් වත් ගිහින් තිබුණේ නැහැ. එදා මුළු රෑම ඔයා වරින් වර හොරෙහින් මගෙ දිහාත්, මම වරින් වර හොරැහින් ඔයා දිහත් බලන එක, දෙන්නටම එක සැරේ මාට්ටුවෙල අපි අපිටම හිනාවුණා. අද අපි අපිටම හිනාවෙනවද? "සියපත්, උඹ වෙලාවකට හරි මෝඩයි, මතකයන් එක්කම ජීවත් වෙන එක ජීවිතේ ලේසි කරන්නේ නැහැ." මගෙ හිත මට හිනාවුණා.
(Super C, Place Rouanda)
එදා එහෙම අහම්බෙන් හමුවුණ අපි නිතර හමුවෙන්න පටන් ගත්තා. කුබෙක් විශ්වවිද්‍යාලයෙන් හවසට වැඩ ඉවර කරල යනකොට අහම් බෙන් නිතර ඔයාව හමුවෙන්න පටන් ගත්තා. "සලු(ට්), ස(අ) වා? මම මේ යාළුවෙක්ව හමුවෙන්න යන ගමන්" ඔයා ඇත්තටම යාළුවෙක් හමුවෙන්න එන්න ඇත්තේ කියල මමත් ඒ දවස්වල හිතුවා. "සති අන්තයෙ මොකද කරන්නේ?" එහෙම ඇහුව දවසක මම එක සැරේටම පුදුමවුණා. "වෙන මොනවද ඉතින්, අපාර්ට්මන්ට් එක සුද්ධ කරනවා, රෙදි හෝදනවා, සතියට ඇතිවෙන්න එළවළු බඩු ගෙන්න යනවා". "කොහෙද බඩුගන්න යන්නේ?" ඒ ඔයා. "අයි ජී ඒ". "ඒකෙ ගණන් වැඩියිනේ. ඇයි සුපර් සී යන්නෙ නැත්තේ?". "ගණන් වැඩියි කියල දන්නවා. ඒත් සෙනසුරාද වැඩ අස්සේ එච්චර දුර පයින් යන්න මට බැහැ. මට වාහනයක් නැහැනේ". මම එහෙම උත්තර දුන්නා. "මම එක්ක යමු. මම එන්නම් සෙනසුරාද හවසට ඔයාව ගන්න" ඔයා එහෙම කියනකොට මට නැහැ ඕනි නැහැ. උදව් කරන්න හිතුවට ස්තුතියි කියල කියන්න බැරිවගියා. මමත් ඔයාව නිතර හමුවෙන්න හිතේ කැමැත්තෙන් ඉන්න ඇති. එහෙම කඩේ ගිය ඔයයි මමයි කතාවෙලාම නිතර හමුවෙන්න පටන් ගත්තා. ර්(හ්)වයින් නොර(හ්)න්ඩාවේ අපි නොගිය අවන්හලක් නැතුව ගියා. මගෙ යාළුවන් ගේ ගෙවල් වල සති අන්තවල සාද වල ඔයත් අනිවාර්‍ය ආරාධිතයෙක් වුණා. "සියපත්, මොනවද ඔය ෆොටෝ ගන්නේ?". " මේ රොක් ක්‍රෙස් මල් වල පැණි වලට පිස්සු හැදිල අතමං වුණ බඹරෙක්ව" මම එහෙම කිව්වම ඔයා හිනාවෙල මගෙ ලඟින් වාඩිවුණා. ඒ එක වසන්ත කාලෙ දවසක, ජල පුෂ්පය උද්‍යානයෙදි (Parc Botanique-A Fleur D'Eau).
"සියපත්?" "ම්ම්?" "මට ඔයාව දැනෙන විදියටම ඔයාට මාව දැනෙනවද?" ඔයා එහෙම අහද්දි මම ඇහුවේ "එතකොට ඔයාට මාව දැනෙන්නේ කොහොමද" කියලා. ඔයා කලබල වුණා. ඔය මූණෙන් මම දැක්කේ බලාපොරොත්තු කඩවුණබවක්. ඔයා අවධානය වෙනත් අතක හරවන්න හැදුවා. ඒ උපායන් මම පහුකරල ගොඩක් කල්. "කියන්න අන්ත්වාන්, ඔයාට මාව දැනෙන්නේ කොහොමද?" ඔය මූණ රතුවෙන දිහා මම හිනාවෙන් බලාගෙන හිටියා. කම්මුල් වල ඉඳන් නහය පැත්තටත්, කම්මුල් වල ඉඳන් කන් දෙක දිහාටත් රතුවෙනකොට බලන්න ලස්සනයි. "මම ඔයාට ආදරේ කරන්න පටන් අරන්" ඔයා බිම බලාගෙන එහෙම කියනකොට මට ඔයාව වඩාගන්න හිතුණා. "මමත් අන්ත්වාන්, මමත් ඔයාට ආදරෙයි අන්ත්වාන් ට්‍රම්බ්ලේ ". ඒ දේවල් ඒ විදියට සිද්ධවෙලා ගියා. මම ඔයාගෙත් ඔයා මගෙත් වුණා. අපිට අපි නැතුව බැරිවුණා. විශ්වවිද්‍යාලයේ හැම යාළුවෙක්ම ර්(හ්)වයින් නොර(හ්)න්ඩාවේ හැම යාළුවෙක්ම අපි ගැන දැනගන්න වැඩි දවසක් ගියෙ නැහැ. අන්ත්වාන් සහ සියපත් කියල කැනඩාවේ සීතල කුඩා නගරයක එක කාලෙක එක ආදර කතාවක් තිබුණා. ඒ ආදරකතාවෙ නළුවො දෙන්නා අද එක තැනක අපි එක නාට්‍යය එක ජවනිකාව රඟපෑවද කියලවත් දන්නෙ නැති ගානට දෙදිසාවක් බලාගෙන ඉන්නවා. ඔයා සෙන්ට්-(හ්)ඔනොරෙ ආපනශාලවෙන් එළියට යන දිහා මම ඔයාට හොරෙන් බලන් හිටියා. ඔයා මාව දැක්කද මම දන්නේ නැහැ. දැක්කත් ඔයාගෙ පෙම්වතිය ඉන්න තැන මාව අඳුනන බවක් පෙන්වන්න ඔයාට පුළුවන්කමක් නැතිව ඇති.
(Rouyn Noranda, Quebec, Canada)
මම ආයෙමත් මගෙ බාගෙට නිවුණ ග්‍රීන් ටී එක දිහාට හැරුණා. අපිට අපි හමුවුණා වගෙම අපිට අපි නැතිවුණා. ඔයා ර්(හ්)වයින් නොර(හ්)න්ඩාවෙන් ගියා කියලයි මට ආරංචි වුණේ. දැන් ඒ කියන්නේ ඔයා ආපහු ඇවිත්. නිතර දකින්න වේවි, හෝද හෝද මඩේ දාන තුවාලයක් වගේ දැන් ආයෙමත් හිත පෑරෙන්න ගනිවි. මම දිහ හුස්මක් හෙළුවා. එක සැරේටම සීතල අතක් මගෙ බෙල්ල වටේ එතෙන කොට මම ගැස්සිල ගියා. "කොහෙද ලමයො අතරමං වෙලා ඉන්නේ?" ඒ ඩැනියෙලා. "මම මෙතනින් වාඩිවෙන්නද?" මම හා කියල ඔළුව වැනුවා. "ඔයාගෙ මනෝ ලොකේ ඉන්න එකට මම ආව එක බාධාවක් උණාද දන්නේ නැහැ" ඩැනියෙලා එහෙම කිව්වම මම හිනා වුණා. "අනේ නැහැ කෙල්ලේ. කොහොමටවත් නැහැ". "ඒ වුණාට තනිවම මුල්ලකට වෙලා හැන්දෑවක ආපනශාලවක මනෝ පාරක් දාගෙන තේ එකක් කෝපි එකක් බොන එකෙත් ආතල් එකක් තියනව නේද සියපත්?" ඩැනියෙලා එහෙම අහනකොට මම හිනාවුණා. මම ඩැනියෙලා එක්ක හිනාවුණාද මම මටම හිනාවුණාද තෝරාගන්න මට තේරුණේ නැහැ. "ඔයා අන්ත්වාන් ව දැක්ක නේද? එයා ඔයාට කථා කලාද? එයාව දැක්ක නිසා නේද ම්මේ මූණ අවුල්වෙලා ඉන්නෙ? " ඩැනියෙලාගෙන් ප්‍රශ්න පෝළිමයි. "දැන් ප්‍රශ්න අංක කීයටද මම ඉස්සරවෙලාම උත්තර දෙන්න ඕනි? ඔව් මම එයාව දැක්කා. එයා මාව දකින්න නැතුව ඇති. දැක්කත් එයාගෙ පෙම්වතිය ඉන්න තැන මට කථාකරන්න බැහැනේ" මම එහෙම කියනකොට ඩැනියෙලා හයියෙන් හිනාවුණා. "හි හී ලමයෝ, ඒ අන්ත්වාන් ගෙ ගෑණුළමයා නෙවී. ඒ එයාගෙ නෑනා. එයාට ගෑණු ළමයෙක් ඉන්නවද පිරිමි ළමයෙක් ඉන්නවද මම දන්නේ නැහැ. හැබැයි ඒ හිටියෙ නම් එයා නෙවී. අන්ත්වාන් මට කතාකරල ගියෙ". ඩැනියෙලාට කතාකරල ගියා කිව්වම මට හිත යටින් ඉරිසියාවක් ආවා. ඒත් එහෙම කලාට දැන් ඒකෙ තේරුමක් නැහැ.
(Université du Québec en Abitibi-Témiscamingue)
"ජීවිතේ ඉස්සරහට ශක්තිමත්ව මූණදෙන්න සියපත්. දැන් ඔයාගෙ උපධියත් ඉවර වෙන්න ඔන්න මෙන්න නේද? මොනවද දැන් ඉස්සරහට කරන්න ඉන්නේ? දිගටම ඉගෙනගන්නවද?". "මම දන්නේ නැහැ. මම තවම එක තීරණේම නැහැ ඒ ගැන". මම එහෙම කිව්වා. "පසුගාමීව හිතන්න එපා සියපත්. මට යන්න හදිසියි. මැක්සිම් එහා පැත්තේ කඩේට ගිහින් දැන් කාර් එකට වෙලා බලාගෙන ඇති. මම මේ පාන් ගෙඩියක් ගන්න මෙතනට ආවෙ". ඩැනියෙලා එහෙම කියල නැගිටලා මාව බදාගෙන කම්මුලට හාදුවක් දුන්නා. "හරි එහෙනම් පරිස්සමින් යන්න". "ඔයත් පරිස්සමින් යන්න. තව ටිකකින් හිම කුණාටුවක් එනවලු. ඒකට අහුවෙයි". ඩැනියෙලා එහෙම කියල යන්න ගියා. මීටත් වඩා කුණාටු මොකටද මගෙ ජීවිතේට. මට එහෙම හිතුණත්, හිම කුණාටුවට කලින් අපාර්ට්මන්ට් එකට යන්න මම මගෙ හිම කබායත් ඇඳගෙන නැගිට්ටා. එලියේ හුළඟට කොල හැළුණ ගස් වල අතු හෙළවෙනවා පේනවා. "බොන් ස්වාරෙ(හ්)!" මුදල් අයකැමි කෙල්ල මට සුභ පැතුවා. "ම(ර්)සි, බොන් ස්වාරෙ(හ්) අ වූ උස්සි" පෙරළා සුභ පතමින් මම එලියට බැස්සා. නොවැම්බර් මාසයේ එක ශීත සවසක සෙල්සියක් ඍන අටක දහයක විතර සීතල සුළං කම්මුල් සිපගනිමින් තිබුණා. "මට මගේ ප්‍රියතම දකුණු ආසියාතික පෙම්වතාව අමතක කරන්න බැහැ" එහෙම කියන ගමන් ඔයා මාව හයියෙන් තද කරල බදාගත්තා. ඒ සීතල උණුහුමට මමත් තවත් තදින් තුරුළුවුණා.
- IceCoolNewbie writer
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6463
Member Since : 2016-07-07
Re: ශිශිරයේ තවත් එක දවසක්
2019-12-03, 12:39 pm
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|