Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4114 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9832
Member Since : 2013-07-06

H O M E L A N D  Empty H O M E L A N D

2020-05-19, 12:26 am
H O M E L A N D ~ Short story
(01/03)
---------------------------------------------


ජීවිතයේ මොන තරම් හැළහැප්පීම් සිදු වුණත්,මොන තරම් පරාජිත හැඟීම් පහළ වුණත් මොහොතකට ඒ හැමදේම අමතක කරවන තැනක් අපේ ජීවිත එක්ක සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්..අපේ අතීත මතක සටහන් වැඩියෙන්ම කැටි වෙලා තියෙන තැනට මොහොතකට හරි ආපහු අපිට යන්න පුළුවන් නම්..ලෝකයේ කොතන හිටියත්..ඇත්තටම ඒක ලොකු අවස්ථාවක් තමන්ට වැරදුණ තැන් ගැන ආපහු හිතන්න.කඩා වැටුණු කෙනෙකුට ආපහු ගොඩනැඟෙන්න..බලාපොරොත්තු අතහැරපු කෙනෙකුට ආපහු බලාපොරොත්තුවක් ගොඩනඟා ගන්න..තමන්ට අවශ්‍ය තැනට ආපසු තමන් ආ ගමන ගැන නැවත හැරී බලා සතුටු වෙන්න..


පුද්ගලිකවම මේ හැමදේටම හොඳම තැන විදිහට මම කවදත් දැක්කේ මම උපන් ගම් පියස.නමුත් ගොඩක් අයට එහෙම නොවෙන්න ඇති.ඒත් සිහින හඹා යෑම පිණිස නිව් යෝර්ක් නම් මහා නගරයට පිවිස ජීවන අරගලයේ යෙදෙන මිලියන ගණනක් වූ ජනකාය අතුරින් මා හඳුනා ගත් අල්පතර වූ හිත මිතුරන් හැම කෙනාම තමන් දැන් ගත කරන තරඟකාරී ජීවිතයත්, තමාගේ ආරම්භක ස්ථානය තුළ ගත කළ ජීවිතයත් අතර ඇති වෙනස ගැන ආපසු සිතමින් සිටියා.නිව් යෝර්ක් තුළ මා හඳුනන පුද්ගලයන් අතුරින් මේ කාරණය ගැන වද නොවුණේ එක් අයෙකු පමණයි.ඒ තමයි මගේ කළින් පෙම්වතා..


මම දැන් ඉන්නේ වයෝමිං ප්‍රාන්තයේ පුංචිම පුංචි නගරයක..පයින්ඩේල් කියන්නේ මම උපන් තැන.පහුගිය අවුරුදු පහ තුළ මට මගේ උපන් ගමේදී  නත්තල් උත්සවය සමරන්න ලැබුණේ අවස්ථා දෙකකදී පමණයි.නමුත් මෙවර මම ආපසු පෙරළා පැමිණියේ නැවත නිව් යෝර්ක් බලා පිටත්ව යෑමේ අපේක්ෂාවකින් නම් නොවෙයි.දෙමව්පියන් මගේ තත්ත්වය වටහා ගෙන සිටියා.මා ගැන නැවත සිතන්න, ආපහු ගොඩනැඟෙන්න අවශ්‍ය කරන නිදහස් අවකාශය ලබා දීමට ඔවුන් හැම පැත්තෙන්ම ඇප කැප වුණා.අවසානයේදී මම එක දෙයක් වටහා ගත්තා. අපිට කොන්දේසි විරහිතව ආදරය කරන කෙනෙක් සිටිනවා නම් ප්‍රශ්න කියන්නේ හරිම සරල දෙයක්.නිව්‍ යෝර්ක් සිට පයින්ඩේල් දක්වා වූ සැතපුම් දෙදහසකටත් අධික දුර පුරා මම රැගෙන ආ චිත්ත පීඩාව මගේ දෙමාපියන් ඉදිරිපිට ක්ෂණිකයෙන් දියාරු වී ගියේ ඒ නිසයි..


ඉතින් මම ආපහු හිතන්න ගත්තා.ජීවත් වෙන්න අළුත්ම අරමුණක් ගොඩ නඟාගන්න උත්සහ කළා.බිඳ වැටුණ මගේ පෞද්ගලික ජීවිතය නැවත පෙර තත්ත්වයටම ගේන්න මම මඟක් සෙව්වා.


කළින් ප්‍රේම සබඳතාවයේ මතකයන් තුළ මම තවමත් තැවෙමින් සිටියත් අපි දැන් වෙනස්ම මාර්ග දෙකකට හැරී අවසන්.ඉතින් සයිබර් අවකාශය හරහා ගොඩනැඟෙන සබඳතා එතරම් විශ්වාස නොකළත්, මම උත්සාහයක් ලෙස වෙබ් අඩවියක මගේ ගිණුමක් සාදා හමුවීමකට සුදුසු පුද්ගලයෙක් සෙව්වේ කොතනින් හෝ මම ආරම්භයක් ලබා ගත යුතු නිසයි..පිළිතුරු රාශියක් ලැබී තිබුණත් මගේ හිත ගියේ පයින්ඩේල් වලින්ම ලැබී තිබූ ආරාධනයක් වෙතටයි.නමුත් ඒ ගිණුමේ අදාළ පුද්ගලයාගේ වයසවත් සටහන්ව තිබුණේ නැහැ.ඡායාරූපයෙන් නම් බැලූ බැල්මටම තිබුණේ අවුරුදු තිහක පමණ පෙනුමක්.ඒ වගේම ඔහු වෙබ් අඩවිය තුළ ක්‍රියාකාරීව සිටියේ ස්වල්ප වේලාවක් පමණයි.යවන පණිවිඩයකට ප්‍රතිචාරයක් ලැබෙනකම් මට බොහෝ වේලාවක් බලා සිටීමට සිදු වුණා.ඔහු දන්වා තිබූ පරිදි ඔහුට ෆේස්බුක් ගිණුමක්වත් තිබුණේ නැහැ.පැහැදිලිම  අනාරක්ෂිත බවක් තිබුණත් පයින්ඩේල් කියන්නේ සමරිසි පුද්ගලයන් හරිම දුලබව සිටින ප්‍රදේශයක්.ප්‍රජාවේ සාමාජිකයන් එක්රැස් වෙන සමාජ ශාලාවක් පවා පිහිටා තිබුණේ සැතපුම් දෙසීයක් පමණ ඈතිනුයි.මෙහි මිනිසුන් ගැන මට යම් අවබෝධයක් තිබුණා.ඒ කාරණාවත් පෙරදැරිව එකම නගරයේ අප දෙදෙනාම වෙසෙන නිසා මම තීරණය කළා ඔහුව මුහුණට මුහුණ හමුවී හඳුන ගන්න.ඔහුට අවශ්‍ය වුණෙත් සියළු කාරණා කෙටි පණිවුඩ වලින්ම නොදන්වා නිදහසේ හමුවෙන්න.ඒ නිසා සයිබර් අවකාශයේ අප දෙදෙනා අතර සිදුවූ පණිවිඩ හුවමාරුවේ ඉතිහාසය ඉතාම කෙටියි.


ඉතිං අද තමයි අපි හමුවන පළමුවන දවස..පයින්ඩේල් නගර මධ්‍යයේ පිහිටා ඇති කුඩා අවන්හලක් අපි ඒ වෙනුවෙන් තෝරා ගත්තා.නියම කරගත් වේලාව පසුවී දැන් මිනිත්තු දහයක් පමණ ගත වී තිබුණත් මම ඉවසීමෙන් බලා සිටියා.ප්‍රමාදය නිසා මම ඔහුට ඇමතුමක් ලබා ගන්න සූදානම් වුණත් එවිටම ඔහුගෙන් මට කෙටි පණිවිඩයක් ලැබුණා..


"මට ටිකක් බයයි වගේ.."


පණිවිඩයේ එලෙස සඳහන් වී තිබුණා..


"ඒ මොකද..?"


මම පිළිතුරක් යැව්වා..මොහොතකින් මගේ ජංගම දුරකථනය නැවත නාද වුණා.එවර එවා තිබූ පණිවිඩය නිසා මගේ හිතට නැගුණේ ලොකු ප්‍රශ්නාර්ථයක්.


"සමහරවිට මාව දැක්කම ඔයාට ගොඩක් තරහා යාවි.."


දුරකථනයේ තිරය දෙස බලාගෙන මම මොහොතක් කල්පනා කළා..


"මට තරහා යන්නේ බොහොම කලාතුරකින්.."


යම් අනුමානයකුත් හිත දරාගෙනම මම ප්‍රතිචාර දැක්වූවා..


ස්වල්ප වේලාවකින් ඔහු මා අසුන්ගෙන සිටින මේසය අසළට පැමිණියා. මගේ අනුමානය නිවැරදි වුණා.ඒ වගේම ඔහුගේ අනුමානයත් නිවැරදි වුණා.සැබැවින්ම ඔහු දුටු සැණින්ම මම කෝපයට පත් වුණා.නමුත් මුහුණේ ඉරියව් වලින් එය නොපෙන්වා මම මඳහසකින් ඔහුව පිළිගත්තා.ඔහු බොහොම පිළිවෙලට හැදපැළඳ ගෙන සිටියා.ඒ වගේම බොහොම ප්‍රසන්න සිනහවකින් යුතු අයෙක්.


"ටිකක් පරක්කු වුණාට තරහා නෑනේ..?"


ඔහු මා ඉදිරිපිට අසුන් ගනිමින් පවසා සිටියා..


"ඇත්තටම ඔයාට වයස කීයද..?"


ඉවසීමේ සීමාව මම යන්තමින් පසු කර සිටි නිසා ඒ පැනය මගේ මුවින් ඉබේටම වගේ එළියට පැන්නා.


"හ්ම්...මට..දැන් පනස් එකක්"


ඔහු යම් දෙගිඩියාවකින් යුතුව පිළිතුරු දුන්නා.


"ඒත් අර පින්තූරයේ එහෙම පෙනුමක් නැහැනේ.."


"ඔව්..ඒක..ගන්න කොට මට වයස හතළිහයි"


ඔහු ආයාසයෙන් පිළිතුරු දුන්නේ මගේ මුහුණේ ඉරියව් ගැඹුරින්ම පරික්ෂා කරමින්..අනතුරුව ඔහු දිගු සුසුමක් හෙළුවා..


"මම දන්නවා ඔයාට දැන් දැනෙන විදිහ..ඔයාගේ කාලය නාස්ති වුණා නම් සමාවෙන්න.මම යන්නම්.."


සියුම් වේදනාවකින් යුතුව ඔහු අසුනින් නැඟිට්ටා..


"ඔහොම ඉන්න..මම වරදක් කිව්වේ නැහැනේ..මට තියෙන්නේ ප්‍රශ්නයක්..ඒකට සාධාරණ උත්තරයක් ඔයාට තියෙනවා නම් අපිට තව හඳුන ගන්න පුළුවන්"


පැහැදිලිවම ඔහු රැවටීමක් කර තිබුණත් මගේ හිතට මොකක්දෝ අමුත්තක් දැණුනා.මම කෝපයට පත් වෙලා හිටියත් මට ඔහුට යන්න හරින්න  හිත ඉඩ දුන්නේ නැහැ"


"හොඳයි.."
ඔහු දිගු හුස්මක් ගෙන පහළට හෙළා ළය සැහැල්ලු කරගත්තා.


"මගේ බලාපොරොත්තුව අවංකයි..නමුත් ඒ අවංකකම මුලින්ම පෙනෙන්න ඉඩ හැරලා මගේ බලාපොරොත්තුව ඉටු කරගන්න උත්සහ කරපු හැම වතාවකදිම මම අසාර්ථක වුණා.ඉතින් මම අන්තිමට තීරණය කළා පොඩි රැවටීමක් කරලා අවංක වෙන්න"


"ඒකෙන් වෙන්නේ ඔයාට අවශ්‍ය කරන දේ තවත් ඔයාගෙන් ඈතට යන එක විතරයි.ඇයි මේ වගේ දෙයක් සාර්ථක වේවි කියලා හිතුවේ..?"


"එතනදි මම යම් උපකල්පනයකට ආවා..ඇත්තටම මගේ තත්ත්වය තේරුම් ගත්ත කෙනෙකුට මගේ මේ රැවටීම ඉවසන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කළා.එතනින් එහාට මම ගොඩක් විවෘතයි..හංගන්න කිසිම දෙයක් නැහැ..මම ඔයාවම තෝරගත්තේ ඒ නිසා.අපි ජීවත් වෙන්නේ මිනිස්සු දාහකටත් වඩා අඩුවෙන් ඉන්න පුංචි ගමක.ඔයාට මාව ආපහු හොයා ගන්න එක හරිම ලෙහෙසි වැඩක්..ඉතින් මම බොහොම පිළිවෙලට ඇඳගෙන ඔයා ඉස්සරහට ආවා.තවත් ඔයාට මගෙන් ඔප්පු වෙන්න ඕන දෙයක් තියෙනව නම් කියන්න, මම කරන්නම්.."


මම ඔහු දෙස මොහොතක් බලාගෙන සිටියා.ඒ දෑස් වල යම් අව්‍යාජ බවක් තිබෙන බව මට හැඟී ගියා.


"වාඩිවෙන්න.."
මම බොහොම සන්සුන්ව පැවසුවා..


"මම ඇත්තම කියන්නම්.."
අසුනට නැවත බරවී තම කබාය යන්තමින් පහළට ඇඳ සකසා ගත් ඔහු කිසියම් පැහැදිලි කිරීමකට මුළ පිරුවා..


"ඇත්‍තටම අර වගේ වෙබ් අඩවියක මම ගිණුමක් හදා ගත්තේ බොහොම මෑතකදී..කෙනෙක්ව හොයන කාරණයෙදී මම වයස ගැන ලොකුවට සැලකිලිමත් වුණේ නැහැ.ඒත් හදිසියේම පයින්ඩේල් වලම ඔයා වගේ කෙනෙක් දැක්කම මට දෙයක් මතක් වුණා..ඇත්තටම ඔයා මෙහෙ කෙනෙක්ද..මට කිසිම හුරු පුරුදු ගතියක් නැහැ.මෙහෙ ඉක්මණටම කෙනෙක්ගේ මුහුණුවර මතක හිටිනවනේ.."


"මම අවුරුදු පහක් තිස්සේ හිටියේ නිව් යෝර්ක් වල..ඉතින් මොකක්ද ඔයාට මාව දැක්කම මතක් වුණේ..?"


"අතීතය.."


ඒ තනි වචනයේ පිළිතුර ගොනු කරගන්න ඔහු තත්පර කිහිපයක් වැය කළා.


"එයත් ඔයා වගේමයි.."


ඔහු මගේ අතක් උඩින් ඔහුගේ අත තැබුවා.


බොහෝවිට මෙවැනි මුණ ගැසීම් වලදී ආගන්තුකයන් ව්‍යාජ ලෙස "හුරුපුරුදු" බවක් පෙන්වීම මට සාමාන්‍යය දෙයක් වුණත් මෙහි යම් අමුත්තක් තිබුණ බව මට හිතුණා.ඔහුගේ ස්පර්ශය රළුයි..නමුත් උණුසුම්.මම හෙමිහිට අත පස්සට ගත්තේ ඔහු පෙන්වපු "හුරුපුරුදු" බවේ ව්‍යාජත්වයක් මට සොයා ගැනීමට නොහැකිව අපහසුතාවයට පත් වුණ නිසයි.


"ඒත් මම කළින් දේවල් ඒ විදිහටම බලාපොරොත්තු වෙන්නේ නැහැ..අපිට පුළුවන් මුළින්ම යාළුවෝ විදිහට ආශ්‍රය කරන්න.මම තාම හිතින් තරුණයි අර පින්තූරයෙන් පෙනෙන තරමටම.දේවල් අපි බලාපොරොත්තු නොවෙන විදිහට යනව නම් අපිට පුළුවන් අපිට පහසු පාරවල් වලට හැරිලා හිතවත්කමක් එක්කම වෙන් වෙන්න..අපි දෙන්නගේ වයස් පරතරය වැඩියි තමයි..ඒත් අඩුම තරමේ යාළුකමකටවත් ඒක බාධාවක් නොවේවි කියලා මම හිතනවා..පයින්ඩේල් කියන්නේ අපි වගේ අයට ගොඩක් පාළු හිතෙන තැනක්.ඔයා නම් සංක්‍රමණය වුණ කෙනෙක් නිසා එහෙම නොදැනෙනවා ඇති"


ඔහුගේ ආත්ම විශ්වාසය ගැන මට තිබුණේ සියුම් විමතියක් සහ ප්‍රශංසනීය හැඟීමක්.මට නැවතත් අර රළු ස්පර්ශය විඳ ගැනීමේ ආශාවක් උපන්නා..


"අපි ආපහු හඳුනගමු..මම ස්පෙන්සර් රොඩ්රික්"


මම ඔහුට අත දිගු කරමින් පැවසුවා..


"ෆින් මැක්හේල්"


මගේ ආචාරය උණුසුම්ව පිළිගනිමින් ඔහු පැවසුවා.


කළින් පැවතියේ ෆින් සම්බන්ධයෙන් මගේ හිතේ ඇතිවුණ සැක සංකා දුරු කරගැනීම වෙනුවෙන් ඇති වුණ කතාබහක්..අප නැවත හඳුන ගැනීමෙන් පසුව ඇතිවූ කතාබහ ඊට හාත් පසින්ම වෙනස් වූ අතිශය සුහදශීලි ස්වභාවයකට හැරුණා.පහුගිය කාලයේ මගේ පුද්ගලික ජීවිතයේ ඇතිවූ ගැටළුත් එක්ක මෙතරම් සැහැල්ලුවෙන් සහ විවෘතව කෙනෙකු හා පිළිසඳරක යෙදෙන්න තරම් හොඳ මානසිකත්වයක මම හිටියේ නැහැ.සැබැවින්ම ෆින් කියන්නේ තවමත් හිතින් තරුණ මනුස්සයෙක්.කතාබහේදී ඔහුගේ මුවින් ගිලිහෙන වචනයක් වචනයක් පාසාම ඔහු කෙරෙහි මට ඇති උනන්දුව වැඩි වුණා.එදා අපි අවන්හලෙන් පිටත් වුණේ තරමක් රෑ බෝ වෙලා..


"මම ඔයත් එක්ක ගෙදරට ඇවිදගෙන යන්න එන්නද..?"


ෆින් බොහොම ඕනෑකමින් ඉල්ලා සිටියා..


"ඔයාට නම් ඒක ලොකු වටයක්"
 මා දෙස බලා මඳහසකින් පමණක් ප්‍රතිචාර දැක්වූ ඔහු මාත් සමඟ මගේ නිවස කරා යෑමට සූදානම් වුණා..


නිවස ආසන්නයට පැමිණි පසු අප වීදිය අසළ මොහොතක් රැදුණා.දෙදෙනාටම ඉක්මණින් සමුගන්න උනන්දුවක් නම් තිබුණේ නැහැ.


"මම කැමතියි මේක අපේ පළමුවෙනි හමුවීම විදිහට සළකන්න..මේක නිකම් මුණගැසීමක් නෙවෙයි"


අවසානයේ මා පැවසුවා..


ෆින් හිස මඳක් ඇළකොට ප්‍රබෝධමත් දෑසකින් මා දෙස බලා සිටියා.ඔහුව සිප ගැනීමකින් හෝ වැළඳ ගැනීමකින් සමුදෙනවා දැයි මම සිතමින් සිටියත්, ෆින් මට වඩා ඉක්මන් තීරණ ගත හැකි අයෙක් වූවා.ඉදිරියට පියවරක් තැබූ ෆින් මා වැළඳගෙන මගේ කම්මුළට යන්තමින් සිපාචාරයක් දක්වමින් මගෙන් සමුගන්න සූදානම් වුණා.


"ඊළඟ පාර මාත් එක්ක ඇල්ස්ටන් ෆෝල් බලන්න යමු..සුභ රාත්‍රියක්.."


"සුභ රාත්‍රියක් ෆින්.." 


මගේ දර්ශන පථයට හසුවෙන අන්තිම වීථි ලාම්පුවේ එළියෙන් ඔහුව නැහැවී යන තුරුම  මා ඔහු දෙස බලා සිටියා.

භානුක likes this post

azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9832
Member Since : 2013-07-06

H O M E L A N D  Empty Re: H O M E L A N D

2020-05-19, 12:29 am
H O M E L A N D ~ Short story
(02/03)
---------------------------------------------


එය තරමක් දුෂ්කර නමුත් සුන්දරත්වය කැටිවූ අපූරු ගමනක්.සුවිසල් ලොඩ්ජ්පෝල් පයින් ශාක වලින් සුසැදි වනය හරහා පැය භාගයක පමණ ගමනකින් පසු අපට තවමත් ප්‍රදේශවාසීන් අතර පමණක් ප්‍රචලිත ඇල්ස්ටන් දිය ඇල්ල වෙතට ළඟා වෙන්න පුළුවන් වුණා.


 මම මොහොතකට ඇල්ල දෙස වශීකෘතව බලා සිටියේ එහි සුන්දරත්වය නිසා පමණක්ම නොවේ.මගේ ළමා කාලයත් සමඟ මේ ස්ථානය තදින්ම බැඳී තිබුණා.අතීත මතක සටහන් වල පර්යාව ලෝකනයක් සමඟම මට ඒ සුන්දරත්වය වෙනස්ම විදිහකට නැවත විඳින්න ලැබුණා.කාලය විසින් අපව මොන තරම් දේවල් වලින් ඈත් කරලා තියෙනවද..! ඒ නිසාම නැවත මේ ස්ථානයට කැඳවාගෙන ඒම වෙනුවෙන් මම ෆින් හට හද පත්ලෙන්ම ස්තූතිවන්ත වුණා.


"අපි අර ගල් පරය උඩ ඉඳගමු"


එලෙස පවසමින් ෆින් කුඩා ගල්පර කිහිපයක් ඔස්සේ පැනගෙන ගොස් සාපේක්ෂව විශාල ගල්පරයක් මත සිට ගත්තා.


"ඔයා කලින් දැනගෙන හිටියද..?"


"මොකක්ද..?"


"මට මේ තැනට  තියෙන සම්බන්ධය ගැන..?"


"ඇත්තටම නැහැ.."
ෆින් මඳක් වික්ෂිප්ත වුණා.


"අපේ අම්මයි තාත්තයි මාවත් එක්ක ගෙන මෙතනට එනවා සමහර සති අන්ත වල.කන්න බොන්න දේවලුත් අරගෙන හවස් යාමය වෙනකම් ඉඳලා තමයි යන්නේ..තාත්‍තට වනාන්තරය ගැන යම් දැනුමක් තියෙනවා.ඉතින් එයා මෙහෙට ආවම මට ගොඩක් දේවල් කියලා දෙනවා.සමහරදාට ඉස්කෝලේ යාළුවොත් එක්ක ගෙදරට හොරෙන් මෙහෙට ඇවිල්ලා තියෙනවා.මම මේ තැන ආපහු දකින්නේ අවුරුදු දහයකට පස්සේ.."


"ලොකු උදව්වක්නේ මම කරලා තියෙන්නේ..ඉතින් දැන් ගොඩක් වෙනස් වෙලාද මේ තැන..?"


"බොහොම ටිකයි..කොහොමත් මෙහෙ මිනිස්සු හරි සාමකාමීයිනේ..ඉතින් පරිසරය වෙනස් වෙන්නේ හරි හෙමින්"


අපි මොහොතක් නිහඬව ඇල්ස්ටන් ඇල්ලෙන් කඩා හැලෙන දිය දහර දෙස බලා සිටියා.අපගේ පළමු හමුවීමෙන් සතියකට පමණ පසු මේ ගමන වෙනුවෙන් එක් වුණත් මේ කෙටි කාලය තුළ අපේ මිත්‍රත්වය බොහෝ දුරට වර්ධනය වී තිබුණා.සීමා මයිමක් නැතුව දෙයක් ගැන කතා කරන්න පුළුවන් පුද්ගලයෙක් මුණ ගැසීම සැබැවින්ම භාග්‍යයක්.ඒ අනුව අප දෙදෙනාටම සොයා තිබුණේ එකම දෙයක්.ෆින් වයසින් මට වඩා අවුරුදු විසි හතරකින් පමණ දුරස්ථව සිටීම ආරම්භයේදී මට යම් ආගන්තුක හැඟීමක් එක්කර තිබුණත්, පමණට වඩා මා ඉදිරියේ බලාපොරොත්තු පොදි නොබැඳ බොහොම ඉවසීමෙන් ෆින් කටයුතු කළ නිසා බොහොම ඉක්මණින් මම ඔහු කෙරෙහි බොහොම මැදහත් ආකල්පයක් ගොඩනඟා ගත්තා.


"දෙයක් අහන්නද..?"


හදිසියේම නිහඬතාවය බිඳිමින් ෆින් මා දෙසට හැරුණා.ප්‍රතිචාරයක් ලෙස මම යන්තමින් හිස වැනුවා.


"ඇයි නිව් යෝර්ක් ගියේ..?"


"සරලයිනේ..ගමේ තරුණයෝ වැඩි හරියක් නගරයට සංක්‍රමණය වෙනවා"


"හේතුව..?"


"තමන් දකින හීන,හදාගත්‍ත අරමුණු වෙනුවෙන්"


"ඒ දේවල් තියෙන්නේ නගර වල විතරද..?"


"මට ඔයා කියන දේ තේරෙන්නේ නැහැ ෆින්.."


වියවුල් සහගත බවකින් මම පැවසුවා.


"පහුගිය දවස් ටිකේ ඔයා යම් තරමකින් මට විවෘත වුණා.ඉතින් මට ඕන වුණේ ඔයාගේ හිත පෙළන කාරණා වලට මම දන්න තරමින් පදනමක් හොයලා දෙන්න.අද ඔයාට පටන් ගත්‍ත තැනටම ඇවිල්ලා ආපහු හිතන්න සිද්ධ වෙලා.සමහරවිට ඔයාගේ ඔය හීන,අරමුණු තියෙන්නේ තමන් වටේම නම්..පයින්ඩේල් වලම නම්..?"


මම මොහොතක් කල්පනා කළා..උසස් පාසලේ අධ්‍යාපනය ලබන අවධියේදී මෙම අති ග්‍රාමීය පරිසරය මම දැක්කේ මගේ හීනවලට පැනවී තිබූ සීමාකාරී සාධකයක් ලෙස..නමුත් එක පැත්‍තකින් මම මගේ තීරණය ගැන සතුටු වුණා.


"අඩුම තරමේ මගේ පළවෙනි ආදරය හරි මට විඳින්න ලැබුණේ නිව් යෝර්ක් වලට සංක්‍රමණය වෙන්න මම ගත්ත තීරණය නිසා.ඒ වගේම ඒක මගේ තනි තීරණයක්..හරි ගියත් වැරදුණත්.ඒ ස්වාධීන බවට මම කැමතියි.ඒත් ඔයා මතු කරන්න උත්සහ කරන දේටත් මම එකඟයි.දැන් ඔයත් මට ඉන්නවා.ඒ නිසා මට මාව හොයාගන්න උදව් කරන්න පයින්ඩේල් වලින්ම"


"ඇයි එයාව මඟ හැරුණේ..?"


"එකක් කියලා නැහැ..ගොඩක් දේවල්"
මම යම් දුර්මුඛ වූ ලීලාවකින් පැවසුවා.


"විශ්වාසය කඩවීමක්..?"


"අපොයි නැහැ.."
මම වහාම පැවසුවා.


"ඒ කියන්නේ දේවල් ආපහු හරවන්න පුළුවන්කමක් තියෙනවා..?"


ෆින්ගේ පැනය තුළ මා ගැන යම් අවිනිශ්චිත බවක් ගොඩනැඟී ඇතිබව මට හැඟී ගියා.


"සමහරවිට..ඒත් අපි දෙන්නටම ඒ ගැන උත්සාහයක් නැත්නම්.අන්න ඒ නිසා තමයි මම කිව්වේ මට මාව පයින්ඩේල් වලින්ම හොයා ගන්න උදව් කරන්න කියලා.."


"මම හිතන්නෙ මම තව ඔයාට කාලය දුන්නොත් හොඳයි..මොකද විශ්වාසය තිබිලත් බිඳුණ සම්බන්ධයක් කියන්නේ ඔය දෙන්නා තවමත් එකිනෙකාට අයිතියි කියන එක.."


ෆින්ගේ වදන් මොහොතකට මගේ හැඟීම් කොහේ හෝ තැනකට,එක පොදියට හිර කරවන්න සමත් වුණා.එහි පීඩනය නිසාමදෝ මගේ දෑස් වලින් කදුළු මතු වුණා.


"අපි මුළින්ම හමු වෙද්දී අපි කවුරුවත්ම නෙවෙයි.."


කදුළු පිස දමමින් මම අතීත ස්මරණයකට මුළ පිරුව නිසා ෆින් බොහොම උනන්දුවෙන් මා දෙස බලා සිටියා.


"එහෙ වියදම් වැඩියි..ඇකඩමිය කිට්ටුවෙන්ම මම නවාතැනක් හොයාගත්තා.ඒක ලෙහෙසි වැඩක් නෙවෙයි ලැබෙන ආදායමත් එක්ක.සති දෙකක් මම එතන හිටියා.අම්මා එහෙම ඒ තැන දැක්කොත් මාව බදාගෙන අඬනවා සත්තයි..ඇකඩමියේ පළවෙනි දවස හරි සාමාන්‍යයයි.ලොකුවට ආගන්තුක බවක් දැණුනෙ නැහැ..හැබැයි ලොකුවට හුරුපුරුදු වෙන්න වාතාවරණයක් තිබුණේත් නැහැ.දෙවෙනි දවසේ මම කල්පනා කළා යහළුවන් ඇති කරගන්න පුළුවන් පහසුම ක්‍රමයකට යන එක හොඳයි කියලා"


"ඉතින් ඔයා මොකද කළේ..?"


"ප්‍රධාන දැන්වීම් පුවරුව ළඟට ගියා පෑනකුත් අරන්..පුදුමාකාර සංගම් තොගයක් ඒක ඇතුළේ තියෙන්නේ.ඒ සංගම් වලට අළුත් සාමාජිකයන් බඳවා ගැනීමේ පත්‍රිකා වලින් ඒ දැන්වීම් පුවරුව වැහිලා තිබුණා.."


" මොන වගේ එකමුතුවක්ද  ඔයා තෝරගත්තේ..?"


"New York LGBT Alliance of performing arts..කලාවයි මගේ මිනිස්සුයි එකම තැනක"


"නියමයිනේ..!"
ෆින් ප්‍රහර්ෂයෙන් පැවසුවා.


"ඉතින් කොහොමද එයාව හමුවුණේ..?"


"හ්ම්..පළවෙනි දවසෙම මම එයාව දැක්කා.නමුත් විශේෂයක් දැණුනේ නැහැ.එතන අළුතෙන් සාමාජිකත්වය ලබා ගත්‍ත සැළකිය යුතු පිරිසක් හිටියා.ඉතින් මුළදි එයාව දැක්කම මට එතන හිටපු තවත් එක්කෙනෙක් වගෙයි දැණුනේ..ආහ්..අනෙක් කාරණේ..එයාගෙ නම කයිල්..කයිල් මැකෙන්සි.


" කොතනදිද එයාව වෙනස් විදිහට දැනෙන්න පටන් ගත්තේ..?"


"ඒක අහඹුවක්..ලොකු අහඹුවක්..පළවෙනි ක්‍රියාකාරකම විදිහට අපිට ලැබුණා ගීතයක් ගායනා කරන්න.හැකියාව සම්බන්ධයෙන් තමන්ට තමන් ගැන මොන විදිහේ අදහසක් තිබුණත් හැමෝම ඒ අවස්ථාවට සහභාගී විය යුතුව තිබුණා.හැබැයි තමන්ට කැමති විදිහට තෝරා ගැනීම් කරන්න බැහැ.එතන තිබුණ පෙට්ටියකින් අහඹු විදිහට තුණ්ඩුවක් අරගෙන ඒ අනුව සඳහන් සංගීත ශෛලියට අනුගතව ඉදිරිපත් කිරීම කරන්න ඕනේ.තමන්ට ඒ ශෛලිය හුරු වේවා හෝ නුහුරු වේවා,දවස් දෙකක් ලැබෙනවා අධ්‍යනයක් කරලා ඉදිරිපත් කිරීම කරන්න"


"අභියෝගාත්මකයි.."


ෆින් නළල රැලි නංවමින් පැවසුවා.


"සත්තකින්ම..එතනින් ගොඩක් දක්ෂයෝ බිහිවෙලා තියෙනවා, එයාලා පාවිච්චි කරන අවේණික ක්‍රම නිසා.තුණ්ඩුව දිහා බලලා කයිල් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ගෙන් යමක් අහනවා මම දැක්කා.නමුත් අහපු දේට ඔවුන් එකඟ නොවුණ බවක් මම දැක්කා.එයාට ඕන වුණේ ශෛලිය වෙනස් කරගන්න.කයිල් පොඩි තිගැස්මකින් ඉන්න බව මට දැණුන නිසා මට හිතුණා ළඟට ගිහින් ටිකක් කතා කරන්න.කයිල්ට ලැබිලා තිබුණේ කන්ට්‍රි සංගීත ශෛලිය අනුව ඉදිරිපත් කිරීම කරන්න.ඉතින් මම එයාට උදව් කරන්න ඉදිරිපත් වුණා.ඒක තමයි අපේ මිත්‍රත්වයේ ආරම්භය"


"කොහොමද ඔච්චර විශ්වාසයක් ආවේ ඔයාට උදව් කරන්න පුළුවන් කියලා..?"


"ඔයා මොනවද මේ කියන්නේ..කන්ට්‍රි සංගීතය ආරම්භ වුණේ මං වගේ පිටිසරබදව ඉපදුණ ගමේ තරුණයන්ගෙන්.අපිට ඒ උරුමය ලේ වලින්ම තියෙනවා.."


මම තරමක් ආඩම්බරයෙන් පැවසුවා..


"අපරාදේ..දන්නව නම් මම ගිටාරය අරගෙන එනවා..ඉතින් ඊට පස්සේ..?"


"ඒ දවස් වල එයාටත් තිබුණා නවාතැන් ප්‍රශ්නයක්..හොඳ පහසුකම් තියෙන තැනක් ලැබිලා තිබුණත් වියදම් සැර නිසා කයිල් හෙව්වා වියදම බෙදා ගන්න පුළුවන් කෙනෙක්.බොහොම ඉක්මණට අපි කාමර සගයෝ වුණා"


"එහෙනම් ගොඩක් ලෙහෙසියි දේවල් ඉක්මණට සිද්ධ වෙන්න"


"හිතන තරම් නැහැ..කයිල් ඒ වෙනකොටත් තමන්ගේ නැඹුරුතාවය රහසක් කරගෙන හිටියා"


"කොහොමද ඔයා රහස හෙළි කරගත්තේ..?"


ෆින්ගේ පැනය හමුවේ මට ඉබේම සිනහ පහළ වුණා.


"මොකද මනුස්සයෝ හිනා වෙන්නෙ..කියනවකෝ"


"ඒක ටිකක්..දන්නේ නැද්ද..දෙන්නම කොල්ලෝ නිසා මම සමහර තැන් වලදී හැසිරුණේ කයිල් කාමරයේ නොහිටිය ගාණට.ඒ හැම වතාවකදිම කයිල්ගේ මුහුණ විතරක් නෙවෙයි මුළු ඇඟම රතු වෙනවා.වැඩිකල් නොගිහින්ම මගේ රේඩාර් එකට එයාව හොඳටම අහුවුණා.දවසක් එයාගේ ඇඳ උඩදිම මම ඒ ලැජ්ජ භය නැති කරලා දැම්මා"


"පව් ඒ කොල්ලා..!"
හිනා වෙලාම ෆින්ගේ ඇස් වලින් කදුළු මතුවුණා.


"කයිල් අහිංසකයි..එයා වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් අවශ්‍යම කාලෙක තමයි මාව හමුවුණේ.ඒ වගේ තරඟකාරී පරිසරයක කෙනෙක් වෙනුවෙන් කෙනෙක් ඉන්න එක හරි වැදගත්..කයිල්ට තමයි ගොඩක්ම ඒක අවශ්‍ය වුණේ"


මම එතනින් මගේ අතීත කතාව නතර කළේ ෆින් ගෙන් නැවතත් දිරි ගැන්වීමක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්.නමුත් ඔහු නිහඬව ඈතින් කඩා හැලෙන කුඩා දිය ඇල්ල දෙස බලා සිටියා.


"මම හිතන්නේ එතනින් එහාට කතාව මට අනුමාන කරන්න පුළුවන්"


ෆින් කල්පනාකාරීව පැවසුවා.


"එයා ඔයාව පහුකරගෙන ගියා..ඔයා කයිල්ගේ ප්‍රශ්න ඉස්සරහා ආරක්ෂකයෙක් වගේ හිටියට බොහොම ඉක්මණින් එයාට එයා වෙනුවෙන්ම පෙනී ඉන්න පුළුවන්කම ලැබුණා.අන්තිමේදී එයාව ආරක්ෂා කරපු ඔයාට ඔයා ගැනම අනාරක්ෂිත හැඟීමක් ඇති වුණා"


මම ෆින් දෙස බලා සිටියේ යම් අසරණ බවකින්.ඔහුගේ අනුමානය අකුරක් නෑරම නිවැරදි වුණා.නමුත් ෆින් තරම් සරලව මම ඒක තේරුම් අරගෙන හිටියේ නැහැ.


"කයිල් කියන්නේ හැබෑම දක්ෂයෙක්..කවදාවත් පුරුදු වෙලා නැති සංගීත ශෛලියකින් එදා ඒ ඉදිරිපත් කිරීම කරද්දී අපි හැමෝම පුදුම වුණා.එයාට තිබුණා ලොකු ගමනක් යන්න.ගායකයෙක් වෙන්න එයාට හීනයක් තිබුණත් ,තමන් ගැන එයාට තිබුණේ නැහැ විශ්වාසයක්.මම කියන්නේ නැහැ මම හැමදේම කළා කියලා.නමුත් දවසක් එයාම කිව්වා මම තමයි එයාව ගායකයෙක් කරන්න පදනම දැම්මේ කියලා.ඇකඩමියේ හිටපු අන්තිම අවුරුද්ද ගැන මම කියන්නම්..ඒ අතර කාලය ගැන හැමදේම කියන්න ගියොත් අද අපිට මෙතනින් යන්න වෙන්නේ නැහැ.ඇරත් අපිට ඕවා කතා කරන්න ඉඩ ඕන තරම් තියෙනවනේ.."


"එයා දිගින් දිගටම සාර්ථක වුණා..ඔයා අසාර්ථක වුණා..එහෙම නේද..?"


ෆින්ගේ පැනයට හිස සැලීමකින් මම පිළිතුරු දුන්නා.


"අන්තිම අවුරුද්දෙදි එයාට Unusual Tennesse Five කියන සංගීත කණ්ඩායමට බැඳෙන්න අවස්ථාව ලැබුණා.ඒ අතරේ මම තිර පිටපත් රචකයෙක් විදිහට දිගින් දිගටම අසාර්ථක වුණා.එයා කාර්යබහුල වෙද්දී මම අවස්ථාවක් හරියනකම් නවාතැනේ කාලය ගෙව්වා.නිකම්ම අපි අතර පරතරයක් ගොඩ නැඟුණා.දවසක් අපි දෙන්නගෙම ඉවසීමේ සීමාව පැන්නා.අන්තිමට ලොකු බහින්බස් වීමක්.. එයා සංගීත කණ්ඩායමේ කළමණාකාරීත්වයත් එක්ක ගිවිසුමක් අත්සන් කළා.ඒක කැනඩාවයි,එක්සත් ජනපදය පුරාමයි යන සංගීත ප්‍රසංග මාළාවක්.ඒ අනුව අවුරුද්දක් යනකම් මට එයාව දකින්න බැහැ.අවුරුද්දකට පස්සේ ආපහු හරවන්න බැරි තරමට දේවල් වෙනස් වෙන බව මම දැනගෙන හිටියා.කයිල් නැතුව ටික කාලයක් මම වෘත්තීමය පැත්තෙන් තවත් උත්සාහයන් කිහිපයක් ගත්තත් මම ආපහු අසාර්ථක වුණා.මම තේරුම් ගත්තා මට විවේකයක් අවශ්‍යයි කියලා.ඉතින් මම ආපහු පයින්ඩේල් දිහාවට හැරුණා.."


ෆින් තමාගේ ගමන් මල්ල හැර එයින් සැන්ඩ්විච් කිහිපයක් එළියට ගත්තා.එයින් කිහිපයක් මා වෙත බෙදා දුන් පසු අපි නිහඬවම ඒවා භුක්ති වින්දා.ආහාර ගන්නා අතරතුරේදීත් ෆින් හිටියේ යම් කල්පනාවක.මට ඒ ගැන විමසන්න සිතුණත් මම දිගටම නිහඬබව රැකුවේ කයිල්ගේ මතකය නැවතත් ආවර්ජනයෙන් හිතේ ඇමිණුන බර තවමත් බිමින් තියන්න මම සූදානම් නොවුණ නිසයි..


"ඔය කතාවේ ලොකු හිස් තැනක් තියෙනවා ස්පෙන්සර්.."


ෆින් කල්පනාවෙන් නොගැලවීම පැවසුවා..


"හිස්තැනක්..?"
මම ප්‍රශ්නාර්ථයක් ගැබ් කරමින් පැවසුවා.


"හ්ම්.."


"මොනවගේ හිස්තැනක්ද..?"


"ඒක හරියට මටත් බේරුම් කරගන්න බැහැ..ඒකට අනෙක් පාර්ශවයත් ඕනේ කියලයි මට හිතෙන්නේ.."


"ඒ කියන්නේ ඔයාට කයිල්ව මෙතනට ගෙන්න ගෙන එයාගේ කතාවත් ඔයාට අහන්න ඕනේ කියලද..?"


මම උපහාසාත්මකව විමසුවා.


"එහෙම කරන්න පුළුවන් නම් හොඳයි.."


"විකාර..මම ආපහු මෙහෙට අවේ අළුත්ම පරිච්ඡේදයක් පටන් ගන්න.හරි..ඒවා දැන් අමතක කරමු..දැන් ඔයාගේ වාරය.ඊටත් පස්සෙ අපි ගැන කතා කරමු"


"අපෝ හරි සරලයි.."
ෆින් බොහොම සැහැල්ලුවෙන් පැවසුවා.


"ඒ කිව්වේ..?"
"මගේ ජීවිතය තනිකරම බොරුවක්..කියන්න ලොකු විශේෂ දේවල් නැහැ.."


"අවුරුදු විස්සක් තිස්සේ හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න පාවිච්චි කරපු බොරු කන්දරාව ඉතින් අහන් ඉන්න වටිනවා තමයි.."


"විහිළු කරන්න එපා ස්පෙන්..ඔයාලට වගේ අපේ තරුණ කාලයෙත් අපි වෙනුවෙන් පෙනී ඉන්න අවකාශ තිබුණ නම් දේවල් වෙනස් වෙනවා හිතා ගන්නවත් බැරි විදිහට.."


"ඉතින් ඔයා තාම තරුණයිනේ..හිතින්.."


මම ෆින්ගේ උරහිසේ මගේ උරහිස හප්පමින් පැවසුවා.


'හරි මං පටන් ගන්නම්..හැබැයි මධුසමයේ පළවෙනි දවස මඟ හරින්න මම කරපු දේ විස්තර කරන කොට හිනා වෙන්න බැහැ හරිද..!"


ෆින් මට තරවටුවක් කළා..
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9832
Member Since : 2013-07-06

H O M E L A N D  Empty Re: H O M E L A N D

2020-05-19, 12:32 am
H O M E L A N D ~ Short story
Final Chapter - Phase One
--------------------------------------------


ඉතා පැහැබර වූ උදෑසනක තමන්ගෙම ගෙදර,ළමාවියේ  පටන් වෙන්කර  දුන් කාමරයේ රැයක් ගෙවා අවදි වීම මෙතරම් සුවදායක වීම ගැන ඇත්‍තටම මම පුදුම වුණා.අපේ නිවස පිහිටා තිබුණේ පයින්ඩේල් ග්‍රාමයේ ගොවිබිම් පිහිටා තිබෙන පෙදෙසට මුහුණලායි.ඒ නිසා මගේ කාමරයේ ජනෙල් පියන් හැරියම තෙරක් නොපෙනෙන තිරිඟු යායක්ම දර්ශනය වෙනවා. සැබවින්ම එය හිතට සහනය ගෙන දෙන්නක්.නැවතත් මේ ගම් පියස හැර දමා යන්නට මට තිබුණේ මැලිකමක්.


අම්මා කාටත් කලින් අවදි වී දවසේ වැඩ පටන් අරගෙන තිබුණ බව මට මුළුතැන්ගෙයි ඇසෙන ශබ්ද වලින් ඒත්තු ගියා.පැවතියේ සෞම්‍ය සිසිලසක්.එය දරාගැනීමට කමිසයක් පමණක් ප්‍රමාණවත් වුණා.දෑත් කිහිලි තුළ සගවා ගෙන මම මුළුතැන්ගෙයට පැමිණ හොරෙන්ම පිටුපසින් ගොස් අම්මව වැළඳ ගත්තා.


 "ඔයිට උඩින් කබායක් ඇද ගත්තොත් නරකද?"


අම්මා මගේ බර දරාගෙනම පිඟානක් සෝදන්නට පටන් ගත්තා.


" ගිම්හාන කාලය ලං වුණාම ඒක ඒ විදිහට විදින්න ඕනෑ..උදේට පොඩ්ඩක් සීතල වුණාට"


 මේසයට ලං කර තිබූ පුටුවක් ඇඳ මම එහි වාඩි වුණා.
උදෑසන ආහාරය පිසෙනකම් අම්මත් මා අසළින්ම වාඩි වී පුවත්පත ළං කරගත්තා.


"මොකක්ද එයාගේ නම කිව්වේ..?


පුවත්පත සම්පූර්ණයෙන්ම නොකියවා සිරස්තල වලට පමණක් අවධානය යොමු කරන පුරුද්දක් තිබුණ නිසා ඒ කාර්යය කරන අතරතුරේම මට අම්මගෙන් පැනයක් යොමු වුණා.


"කවුද..ආහ්..ෆින්..ෆින් මැක්හේල්"


ඇය පුවත්පත පසෙකින් තබා මා දෙසට හැරුණා..


"මම හිතන්නේ එයාට රෑ කෑමකට ආරාධනා කළොත් හොඳයි.."


"කෝ තාත්තා..?"


අම්මාගේ අනපේක්ෂිත යෝජනාවට මට එකවරම පිළිතුරක් ලබා දීමට අපොහොසත් වුණ හෙයින් මම පැනයකින් එය යටපත් කරන්න උත්සහ කළා.නමුත් මගේ පැනය තුළ ඇයගේ යෝජනාවට අදාළ දෙයක් ගැබ්වී තිබුණා.


"උදෙන්ම ගියා නගර කවුන්සලයේ රැස්වීමකට"


"දවස් කිහිපයක ඉඳන් තාත්තා මාත් එක්ක කතා කරන්නේ හරිම අඩුවෙන්.."


"පුදුමයක් නෙවෙයි ඒක..ඇත්තටම එයාට ඒක අමුතුයි.ෆින් කියන්නේ ඔයාගේ තාත්තගේ වයසට කිට්ටු මනුස්සයෙක්.."


"ඔයාට කොහොමද දැනෙන්නේ අම්මා..?"


"මටද..ඔයාට දැනෙන විදිහ තමයි මගෙත් දැනීම වෙන්නේ..ඒත් ඒක ඔයාගේ අසරණකමක් නම්.."


"නැහැ නැහැ අම්මා..ෆින් මම හොයන විදිහේ කෙනෙක්..ඇත්තටම මම එයාට කැමතියි"


මම ඇයගේ උරහිස මත හිස හේත්තු කරගෙන ගැඹුරු සුසුමක් හෙළුවා.


"මේ කාරණයෙදී,මේ වතාවෙදි විතරක්වත් අපි හරහා යන්න උත්සහ කරන්න ස්පෙන්සර්..ඔයාටත් මේ ජීවිතයේ ස්ථිර තැනක් තියෙන්න ඕනේ"


"කාලය..කාලයට ඉඩ දෙමු.."


මම ඇයගේ අතැඟිල්ලක රැඳි මංගල මුදුව ඇඟිලි තුඩකින් යන්තමට ස්පර්ශ කරමින් පැවසුවා.


"මාත් ආසයි මේ වගේ මුදුවක් පළඳින්න..ඒ නිසා මං ගැන වද වෙන්න එපා"


තව මොහොතක් ඇයගේ තුරුළේ රැඳෙන්න මට අවශ්‍ය වුණත් කාමරය දෙසින් මගේ ජංගම දුරකථනය නාද වෙන ශබ්දය ඇසුණ නිසා අකමැත්තෙන් වුණත් මට ඇයගෙන් ඉවත් වෙන්න සිදු වුණා.ඇමතුම ෆින්ගෙන් යැයි මම අනුමාන කළත් එය නාමාවලියට ඇතුළත් නොකරපු අංකයක් වුණා.


"හෙලෝ.."


"ස්පෙන්සර්..?"


"ඔව්.."
මම තරමක සැකයකින් පිළිතුරු දුන්නා.


"පුළුවන්ද මාව අඳුන ගන්න..?"


මිශ්‍ර හැඟීම් සමුදායක් එකවර හිත තුළ තෙරපෙන්නට ගත් නිසා මට එකවර පිළිතුරක් දෙන්න නොහැකි වුණා.


"ක..කයිල්.."
මම මඳ අපහසුවකින් පැවසුවා..


"මම ඒත් බය වුණා මේ අංකය දැන් වැඩ කරන එකක් නැහැ කියලා.."


"නැහැ..වෙනස් කරනව නම් මම ඔයාට දන්වනවා"
මට එකවරම කියවුණා.


"හැබෑට..ඇයි ඒ..?"


කයිල් මගේ සිතැඟි හඳුනගෙන යොමුකළ ප්‍රශ්නයක් බව පැහැදිලිවම හැඟුණ නිසා හිතාමතාම අවංක නොවන පිළිතුරක් ලබාදීමේ උත්සාහයක් මගේ හිත තුළින් නිරායාසයෙන්ම නැඟුණා.


"එහෙම වෙනස් කරනව නම් නාමාවලියේ ඉන්න හැමෝටම පණිවිඩයක් යවනවා.ඒ පණිවිඩය ඔයාටත් එනවා.."


"එහෙමද.."
කයිල් යම් දුර්මුඛ වූ ස්වභාවයකින් පැවසුවා.


"කාරණාව මොකක්ද කයිල්..?"


"අ..විශේෂයක් නැහැ..ඒත්..ඇත්තටම මම දැන් ඉන්නේ පයින්ඩේල් නගරයේ"


"මොනවා..!!"
විමතියත් ප්‍රීතියත් සම්මිශ්‍රිත හැඟීමකට එකවර යටත් වූ මා හට ඉහළට ගත් හුස්ම පහළට දමන්න අමතක වුණා..


"ඔයා මොනවද මෙහෙ කරන්නේ..!"


"හැමදේම දුරකථනයෙන්මද දැනගන්න ඕනේ ස්පෙන්..දැන් අපි දෙන්නා අතර තියෙන්නේ මිනිත්තු කිහිපයක දුරක්නේ..මම දැන් ඉන්නේ los cabos කියන අවන්හල ඉස්සරහා.."


වහා ඇමතුම විසන්ධි කළ මම අතට අසුවූ කබායකුත් ඇඳ ගෙන ඉදිරිපස දොරටුව වෙත දිව ගියා.


"ස්පෙන්..කොහෙද ඔය දුවන්න හදන්නේ..?"


අම්මා කෑම කාමරයේ සිට හඬ දුන්නා..


"මගේ පරණ යාළුවෙක් නගරයට ඇවිල්ලා..මම එයාව මුණ ගැහිලා එන්නම්"


මම නොඉවසිලිමත් බවකින් පැවසුවේ සත්‍ය පැවසුවොත් ඊළඟට යොමුවෙන ප්‍රශ්නාවලියෙන් මට ගැලවෙන්න ඕන වුණ නිසයි.


"ඉතින් උදේට කාලා යන්න..නැත්නම් එයාට මෙහෙට එන විදිහ කියන්න.."


"ඕන නැහැ අම්මා..එයාට වැඩි වෙලාවක් නැහැ"


බාධක දිවීමට අළුතෙන් කඩුල්ලක් අම්මා ගෙන එන්න කලින් මම නිවසින් වීදියට ප්‍රවිෂ්ට වුණා.


මිනිත්තු කිහිපයක පා ගමනකින් පසුව මම පයින්ඩේල් නගරයට පිවිසුණා.කයිල් පැවසූ අවන්හල දෙසට කිට්ටුවත්ම මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා.පැවසූ ලෙසම කයිල් අවන්හලේ පිවිසුම් දොරටුව අසළ සිටගෙන මා එනතුරු බලා සිටියා.දුර තියාම මාව හඳුනගත් ඔහු ඉක්මන් ගමනින් මා දෙසට ඇවිදගෙන ආවා.


පියවරක් පමණ මට ඔබ්බෙන් නැවතුණ ඔහු මා දෙස බොහොම ප්‍රමෝදයෙන් බලාගෙන සිටියා.


"දෙයියනේ..කොච්චර කාලෙකට පස්සෙද..!"


ඊළඟ මොහොතේ පියවරක පරතරය අබිබවමින් කයිල් මාව උණුසුම් ලෙස වැළඳ ගත්‍තා.කයිල්ගෙන් එවැනි හිතවත්කමක් දැන් අත්විඳින්න ලැබීම මට නුහුරු දෙයක් වුණ නිසා ඔහුගේ සිරුරේ ස්පර්ශය පවා මට මඳ අපහසුවක් වුණා.එය කයිල් සම්බන්ධයෙන් ඇතිවූ අකමැත්තක් නිසා නම් නොවෙයි.සැබැවින්ම ඔහුගේ කටහඬ ඇසීම පවා මට ලොකු අස්වැසිල්ලක්.ඒත් කලකට පෙර මීටත් වඩා අතිශය හෘදයාංගම ලෙස අපේ සිරුරු වෙලී තිබුණ හැටි සිහිපත් වෙනකොට මට මං ගැනම සියුම් දුකක් ඇති 
වුණා.


"අම්මගේ කෑම ගොඩක් රසයි වගේ.."


මගෙන් මඳක් මෑත් වුණ කයිල් මගේ උදරයට සියුම් තට්ටුවක් දැම්මා.


"එයාට කොහොමත් ඔය පොඩ්ඩක්,ටිකක් කියන වචන තේරෙන්නේ නැහැ..රස දැනෙන කොට මගෙත් පාලනයක් නැහැ"


"උදේට කාලද ඉන්නේ..?"
සිනහව අතරින්ම කයිල් විමසුවා..


"ගෙදර හැදන ගමන්..මාත් එක්ක යමු"


"බැහැ ස්පෙන්..ලොකු වෙලාවක් නැති වේවි මට..ඇරත්..ඔයාගේ දෙමව්පියෝ.."


කයිල් අතරමඟදී වචන ගිල ගනිමින් උරහිස් යන්තමට හැකිළුවා.මම ඔහු පවසන්නට ගිය දේ තේරුම් ගත් බව හඟවමින් යන්තමට හිස වැනුවා.


"ඉතින් මාත් එක්කම කෑම ගමුකෝ..මේක හරි අපූරු මෙක්සිකානු අවන්හලක්.."


ලොස් කැබෝස් ගොඩනැගිල්ල දෙස බලමින් කයිල් මා හට ආරාධනාවක් කළා.


"ඔයා සාමාන්‍ය විදිහට ඇණවුම් කරන්න.මට සුළු දෙයක්"


"ඇයි..අම්මගෙන් නොකෑවොත් ප්‍රශ්නයක්ද..?"


"එයාව මහන්සි කරලා වෙන තැනකින් කෑවොත් නම් ප්‍රශ්නයක්..ඊට වඩා හොඳයි මගේ කන් දෙක ගලවලා එයාටම දෙන එක.."


"හරි..හරි..එහෙනම් මං ගාණේ සුළු දෙයක්.."


ඒ අනුව අපි අවන්හලට පිවිසී කෙළවරටම වන්නට තිබූ මේසයක අසුන් ගත්තා.ඇණවුම අප කරා එනකම් මම වීදිය දෙස බලා සිටියා.නමුත් කයිල් සෘජුවම මා දෙසට නෙත්‍ යොමා සිටින බව මම හොරැහින් දැක්කා.


"ඉතින්..කොච්චර කාලයක්ද දැන්  පයින්ඩේල් වලට ඇවිල්ලා"


සංවාදයකට මගෙන් පිටුවහලක් නොමැති බව තේරුම් ගත් කයිල් ආරම්භයක් ලබා ගත්තා.


"දැන් මාසයකට කිට්ටුයි"


"ආපහු යන්නෙ නැද්ද..?"


"දන්නෙ නැහැ..සමහර දේවල් දැන් තීරණය කරන්නේ මගේ තනි කැමැත්තට නෙවෙයි"


"හ්ම්..ඒ කියන්නේ..තවත් පුද්ගලයෙක් ඒවට බලපානවා"


කයිල් කල්පනාකාරීව පැවසුවා.


"ඔව්..එතකොට ඔයා..?"


"මම තාම හිතලවත් නැහැ..ඇරත් මට උනන්දුවකුත් නැහැ..මට යන්න තව දුර තියෙනවා.ඒ ගැන හිතන එක හොඳයි වගේ.ඒක මගේ පාලනයේ තියෙන දෙයක්"


"ඔව්..ඒක ඇත්ත.පුළුවන් තරම් කාලය අරගන්න..ඒක නෙමෙයි..පයින්ඩේල් කියන්නේ ගොඩක් අය හිතාමතාම එන තැනක් මිසක් අතරමඟදී පහු කරගෙන යන නගරයක් නෙවෙයි..මේක අහම්බයක් නෙවෙයි නේද..?"


අවන්හලේ සේවකයෙක් අපේ ඇණවුම රැගෙන ආ නිසා කයිල් මගේ පැනයට පිළිතුරු දෙන්න පමා වුණා.


"හරි නම් මම කෙළින්ම එන්න ඕනේ කැස්පර් වලට.අපේ ඊළඟ ප්‍රසංගය තියන්නේ එහෙ..නමුත් මට ඒත් එක්කම මතක් වුණා පයින්ඩේල් තියෙන්නෙත් කැස්පර් වලට වැඩි දුරකින් නොවන බව..ඉතින් මම කණ්ඩායමේ අයත් එක්ක නෑවිත් වෙනම එන්න තීරණය කළා..සමහරවිට ඔයා පයින්ඩේල් වල නොඉන්නත් පුළුවන් නිසා පයින්ඩේල් හරහා කැස්පර් වලට යන්න මම වාහනයක් කුලියට ගත්තා..ඔයා නොහිටියොත් කෙළින්ම කැස්පර් වලට යන්නයි මට තියෙන්නෙ.."


"සමහරවිට මගේ ඉතිරි ජීවිත කාලයම මම උපන් බිමේම ගෙවිලා යන්න පුළුවන් කයිල්.."


"එහෙම වෙනව නම් හොඳයි..එතකොට මම..එතකොට මම දන්නවා ඔයා ඉන්නවා කියලා..මට හිතෙන හැම වෙලාවකම එන්න පුළුවන් එතකොට.."


කයිල් තම හැඟුම්බර ගතිය සඟවන්නට අරගලයක් කරන බව මට තේරුණා.


"වරදවා හිතන්න එපා..හොඳ යාළුවෙක් විදිහට"


කයිල් එලෙස පවසන අතරතුරේම තම කබා සාක්කුවට අත දමා ළා කහ පැහැති දිගු ලියුම් කවරයක් එළියට ගත්තා..


"ඔයාව හමුවෙන්න වාසනාව ලැබුණොත් මට මේක දෙන්න ලොකුවට උවමනාව තිබුණා..


කයිල් ඒ ලියුම් කවරය මා ඉදිරිපිටින් තැබුවා..


"මොකක්ද මේ..?"


"කැස්පර් වල ප්‍රසංගය වෙනුවෙන් ඉදිරි පෙළේ ආසනයක් මම ඔයාට වෙන් කළා..මේ ඒ ආසනය වෙනුවන් ඔයාගේ ප්‍රවේශ පත්‍රය.එහෙදී අපේ අළුත්ම ගීතයක් එළි දැක්වෙනවා.ඒ ගීතයේ ප්‍රධාන ගායකයා මම..එහෙම අවස්ථාවක් මට කණ්ඩායමෙන් ලැබෙන්නේ පළවෙනි වතාවට"


සතුට වැඩිකමට මගේ දෑස් වලින් කදුළු ඉනුවා.මම ඒ ලියුම් කවරය බොහොම පරිස්සමෙන් මගේ කබා සාක්කුවට දමා ගත්තා.


අනතුරුව කයිල් මඳක් ඉදිරියට නැඹුරු වී මගේ අතක් උඩින් ඔහුගේ අත තබා මා දෙස බොහොම කෘතවේදී බැල්මක් හෙළුවා..


"ඔයා නිසයි මම අද මෙතන ඉන්නේ..ඒක මගේ අවසාන හුස්ම පොද වෙනකම්ම අමතක වෙන්නේ නැහැ..හැමදාම මම වේදිකාවට නගිද්දී මට ඒක මතක් වෙනවා..මම සෙනඟ අස්සෙන් ඔයාගේ මුහුණ මවා ගන්න උත්සහ කරනවා..මොකද පහුගිය කාලෙදි මට දෙයක් හොඳාකාරවම තේරුම් ගියා..හැමදේම මට ලැබුණත් මට මගේ නිදහස නැති වුණ බව මට තේරුණා..ඔයාගේ මුහුණ දකින කොට ඇත්තටම මට දැනෙන්නේ මම මගේම නිදහස දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක්..ඒ නිසා කැස්පර් වලදී.. මගේ ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයෙදී ඔයාගේ මුහුණ ඇත්තටම සෙනඟ අස්සෙන් මට පේන්න ඕනේ ස්පෙන්.."


කිසිවක් කතා කරගත නොහැකිව මම ගොළු වුණා.ඒ වෙනුවට මම කළේ කයිල්ගේ අත තරමකින් ග්‍රහණය කරගත්‍ත එක විතරයි..


"මම දැන් යනවා අද හවස පුහුණුවීම් පටන් ගන්න නිසා.මම ප්‍රසංගයට කළින් දවසේ ඔයාට වාහනයක් එවන්නම්..නොවැරදීම එන්න.."


ඒ අනුව ආහාර ගෙන අවසන් වූ වහාම කයිල් මගෙන් සමුගෙන අවන්හලේ දොරටුව වෙත පිය මැන්නා.සිතුවිලි ගොන්නක අතරමංව සිටි මට පුටුවෙන් නැඟිටින්නටවත් හිත දුන්නේ නැහැ.එළියට පිළිපන් වහාම කයිල් කෙනෙකුට ඇමතුමක් ගන්නට උත්සහ කරන බවක් පෙනි ගියා.ඒ අතරෙම මම ෆින්ට ඇමතුමක් ගන්න උත්සහ කළත් එය කාර්යබහුල වූ නිසා මම තව මොහොතක් ඉවසුවා.මිනිත්තු කිහිපයකින් කයිල්ගේ වාහනය කැස්පර් දෙසට හරවා ධාවනය වුණා.අවන්හලෙන් එළියට පැමිණි මම ෆින්ව නැවත වතාවක් සම්බන්ධය කරගන්න උත්සහ කළා..


"ස්පෙන්..අද උදෙන්ම නැඟිටලනේ..!"


"ඔයා එන්න තව දවස් කීයක් යනවද..?"


"දවස් නැහැ..තව පැය පහකින් විතර.."


"එච්චර ඉක්මණට..!"


"ඇයි..සතුටු නැද්ද..මගේ වැඩ ටික ඉක්මණට ඉවර කරගන්න පුළුවන් වුණා..ව්‍යාපාර වල එහෙම වාසනාවන්ත කාල තියෙනවා ඉතින්.."


"හරි පුදුම දෙයක් වුණා ෆින්.."


"මොකක්ද..ඔයාගේ තාත්තා කැමති වුණාද..?"


"කයිල් ආවා මාව මුණ ගැහෙන්න.."


"පයින්ඩේල් වලට..!!"


"ඔව්..මටත් හිතා ගන්න බැරි වුණා"


"හ්ම්..ඔහොම ඉන්නකෝ..මම දැන් එනවනේ..ආව ගමන් ඔයාට කතා කරන්නම්..ඔයා මගේ ගෙදරට එන්න"


සිතූ පරිදිම ෆින් මේ කාරණය බැරෑරුම් ලෙස ගත් බව මට පෙනී ගියා..කිසිවක් නොසඟවා කළින්ම ඔහුට කාරණය පැවසීම ගැන මම සතුටු වුණේ ඒ නිසයි..
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9832
Member Since : 2013-07-06

H O M E L A N D  Empty Re: H O M E L A N D

2020-05-19, 12:34 am
H O M E L A N D ~ Short story
Final chapter - Phase two
-------------------------------------------------


මම ෆින්ගේ නිවසේ දොරට තට්ටු කළේ තරමක නොඉවසිල්ලෙන්.සුළු පමාවකින් පසු දොර විවෘත කළ ෆින් තවමත් සිටියේ තම නිළ කටයුතු උදෙසා හැඳගත් ඇඳුම පිටින්මයි.


"දෙයියනේ..මම ආවා කියලා පණිවුඩය දුන්න ගමන් ඔයා දුවගෙන ආවාද..තවම මම ඇඳුම් ලෙහලත් නෑ..!"


එය නෑහුනාක් මෙන් මම නිවසට ඇතුළු වී සාලයේ අසුනකට බර වුණා.
 ෆින් තම අත්දිග කමිසයේ අත් වැළමිට දක්වා නවන අතරේ මා දෙස බලා සිටියා.


"කුස්සියට යමු..මම මොනවා හරි හදලා දෙන්නම්"


"ඕනේ නැහැ..මෙතන ඉඳන් කතා කරමු"


"ඔය වගේ අහඹු සුළු සිද්ධියක මොනවද කතා කරන්න තියෙන්නේ..පිස්සු නැතුව එනවා..!"


ෆින්ගේ තරවටුව අනුව මම ඔහුගේ පස්සෙන් ආවා.


"එහෙදි හම්බවුණ පොඩි විවේකයදී මම සාප්පු සංකීර්ණයකට ගියා.ඔයාටත් එක්ක මම ඇඳුම් ටිකක් ගත්තා.බලන්න හොඳද කියලා..අළු පාටට ඔයා ගොඩක් ආසයිනේ"


ඔහු මා ඉදිරියේ පාර්සලයක් තැබුවා.


"තවම මම ගෙදරට ඕන කරන බඩු ගෙනාවෙත් නැහැ..ඒ නිසා ලෙමනේඩ් එකක් හදන්නම්..කමක් නැහැනේ"


"ෆින්..එයා මට ප්‍රසංගයකට ආරාධනා කළා.."


ඔහුගේ සැහැල්ලු ඉරියව් නොඉවසූ මම අවධාරණයෙන් පැවසුවා.


"ඉතින් මොකද..ගිහිල්ලා එන්න.."


පෙර සැහැල්ලු ඉරියව්වෙන්ම ෆින් මා දෙසට හැරී පැවසුවත් එවිට මගේ මුහුණේ ප්‍රකාශිත හැඟීම් ගැඹුරින්ම කියෙව්ව නිසාදෝ ඔහුගේ මුහුණුවර තරමක් වෙනස් වුණා.


"මොකක්ද ප්‍රශ්නේ ස්පෙන්සර්..?"


මේසයේ මා ඉදිරිපිට තිබූ ආසනය ඇඳගත් ෆින් මා දෙස සෘජු බැල්මක් හෙළුවා..


"එයා..එයා ඒක කියපු විදිහ..එයා මගෙන් ඉල්ලපු විදිහ..අපි කතා කළේ බොහොම ටිකයි.ඒත් එයාගේ හිතේ ගොඩක් දේවල් තිබුණා..මම හිතුවේ දැන් මම අවම සාධකයක් කියලා.ඒත් කයිල් තවම වෙනස් වෙලා නැහැ.."


මම වෙවුලන ස්වරයෙන් පවසන දේවල් ෆින් අහගෙන හිටියේ දුකකින්ද නැත්නම් මා ගැන අනුකම්පාවකින්ද යන්න මට තෝර ගන්න බැරි වුණා.ඔහු හුන් අස්නෙන් නැඟිට මා අසළට විත් හැකි තරම් සමීප වී මගේ පපුව මත අත තැබුවා.


"ඔයා වෙනස් වෙලාද..?"


ෆින් බොහොම මෘදු ස්වරයෙන් විමසුවා.


මට එකවරම කිසිවක් පවසා ගත නොහැකිව ෆින් දෙස බලා සිටියා.


"ඒ ඔයාගේ පළවෙනි ආදරේ..ඒකේ බර මට තේරෙනවා.අවුරුදු විස්සකට කලින් මටත් ඒ බර දැනුනා.තවමත් ඒ බර දැනෙනවා"


"ඒත් මට ඕනේ අමතක කරන්න"


"ඇයි..?"
ෆින් ගෙන් එල්ල වුණේ පමණට වඩා සෘජු ප්‍රශ්නයක්.


"මට ඔයත් එක්ක ජීවත් වෙන්න ඕන නිසා.."


"ඒ වෙනුවෙන් මම මොකද කරන්න ඕනේ..?"


"කයිල්ව මුණ ගැහෙන්න..මුණ ගැහිලා එයාට කියන්න මාව ආපහු බලන්න එන්න එපා කියලා..මට ඒ දේවල් එයාගේ මුහුණ බලාගෙන කියන්න තරම් හයියක් නැහැ.."


"ස්පෙන්සර් ඇයි ඔයා ඒ දේවල් බලහත්කාරයෙන් කරන්නේ තවමත් ඉඩක් තියෙනවා නම් කයිල් ළඟ..?"


ෆින්ගේ ප්‍රකාශය මම කොහෙත්ම අපේක්ෂා නොකළ දෙයක්..ක්ෂණික කෝපය නිසා මෙතරම් වේලාවක් මා සමීපයේ සිටි ෆින්ව ඉවතට තල්ලු කළා.


"මොනවද ඔහේ මේ කියවන්නේ..බොස්ටන් වල හිටිය දවස් කිහිපයට කවුද ඔයාව වෙනස් කළේ..!!"


"කයිල්මයි.."


ෆින් සන්සුන් ඉරියව්වෙන් පිළිතුරු දුන්නා.


"මම ගියේ බොස්ටන් තමයි..හැබැයි ගියේ නිව් යෝර්ක් හරහා..මගේ ඒ ගමන නිසා කයිල් තීරණය කළා එයාගේ කැස්පර් ගමන පයින්ඩේල් හරහා යන්න"


කයිල්ගේ අනපේක්ෂිත ආගමනය නිසා හටගත් විමතියෙන් තවමත් ඉවත්ව නොසිටි මා හට ඒ ආගමනය වෙනුවෙන් උත්තේජනය ලැබුණේ ෆින් හරහා බව දැන ගන්නට ලැබුණ විට ඒ විමතිය තවත් තීව්‍ර වුණා.


ෆින් නැවත මා වෙත සමීප වී මගේ දෙවුර මත දෑත් තැබුවා..


"ඔයා කලබල කරන්නේ නැත්නම්..ඒ වගේම හොඳින් මං කියන දේ අහගෙන ඉන්නව නම්..ඔයා කවදා හරි මුළු හදවතින්ම මට ස්තූති කරන බව සහතිකයි..ඒ වෙනුවෙන් මම ඔයත් එක්ක ඕනෑම ඔට්ටුවක් අල්ලන්න ලෑස්තියි.."


මම ගැඹුරු ආශ්වාසයක් ගෙන එය සීරුවට පිටකර ළය සැහැල්ලු කර ගත්‍තා.


"ඇයි ඔයාට මාව එපා වුණේ..?"
මම මිමිණුවා..


"මට ඔයාව එපා වුණේ නැහැ ස්පෙන්..ඒත් මෙතනදි ඔයා සීරුවට මම කියන දේ අහගෙන ඉන්නව නම් ඔයා මට කරන්නෙත් ලොකු උපකාරයක්.."


"හරි..කියන්න..මම අහගෙන ඉන්නම්"
මම සන්සුන්ව පැවසුවා.


පළතුරු කූඩයෙන් ලෙමන් ගෙඩි කිහිපයක් තෝරාගත් ෆින් එහි යුෂ බඳුනකට රැස් කරන්න සූදානම් වුණා.


"එදා ඇල්ස්ටන් ඇල්ල ගාවදී ඔයා මාව විහිළුවට ගත්තා මතකද..ඔයා කයිල් ගැන කිව්වා වගේ කයිල්ගෙන් ඔයා ගැන අහන්න මට උනන්දුවක් ඇත්තටම ආවා.ඒත් ඒ බව මම කිව්වම ඔයා ඒක උපහාසයට ගත්‍තා.මට එතකොටම කල්පනා වුණා ව්‍යාපාරික වැඩ වලට බොස්ටන් යන අතරේ කයිල්ව මුණ ගැහෙන්නත් උත්සහ ගත්තොත් හොඳයි කියලා..එදාම රෑ මම නිකමට වගේ unusual tennessee five කණ්ඩායමේ නිළ වෙබ් අඩවියට ගියා.එතනදි මම දැක්කා ඒ කණ්ඩායම කරගෙන යන ප්‍රසංග මාළාවේ ඊළඟ අදියර කැස්පර් වල තියන්න යන බව..ඒත් එක්කම මම මැන්හැටන් ප්‍රසංගයේ ප්ලැටිනම් ප්‍රවේශ පත්‍රයක් වෙන් කරගත්තා.ඒ ප්‍රවේශ පත්‍රය ගන්න අයට විශේෂ අවස්ථාවක් ලැබෙනවා කණ්ඩායමේ සාමාජිකයන් එක්ක එකට ඡායාරූප ගන්න,සමරු අත්සන් ගන්න..මම ඒක අවස්ථාවක් කරගෙන කයිල්ව මුණ ගැහිලා මාව හඳුන්වලා දුන්නා.එයා මාව එතරම් ගණනකට ගත්තේ නැත්නම් වැඩේ අතහරින්නයි හිටියේ"


"ඉතින් එයා මොකද කිව්වේ..?"
මම කුතුහලයෙන් යුතුව විමසුවා.


"පුදුම වුණා..ටිකක් විතර කලබල වුණා..එතන රසිකයෝ ගොඩක් හිටියා.මගෙන් දුරකථන අංකය ඉල්ලගෙන කිසිම වෙනසක් නොපෙන්වා එයා අනෙක් රසිකයෝ අතරට ගියා.පහුවදා උදේ එයාගෙන් ඇමතුමක් ආවා.එයා නියම කරපු තැනට මට එන්න කිව්වා.මිනිහගේ හිතේ පොඩි සැකයක් තිබුණා මම පැපරාසියෙක් කියලා.ඒ නිසා එයා ඉදිරිපිටම ඔයාට ඇමතුමක් ගන්න කියලා කයිල් ඉල්ලා හිටියා.මම අපේ සංවාදය එයාට ඇහෙන විදිහට සකස ගෙන ඔයාට ඇමතුමක් අරන් සාමාන්‍ය විදිහට ඔයාගේ සැපදුක් විමසුවා.ඔයාගේ කටහඬ ඇහෙන කොට කයිල් ගොඩක් හැඟීම්බර වුණා ස්පෙන්..ඔයාගේ වර්තමාන තත්ත්වය ගැන දැන ගන්න එයාට ලොකු උනන්දුවක් තිබුණා"


සාදා ගත් සීනී සිරප් එක ලෙමන් යුෂ සමඟ මිශ්‍ර කළ ෆින් මඳ වේලාවක් එය නිවෙන්නට හැර නැවත මා ඉදිරිපිට අසුන් ගත්තා..


"ඊට පස්සේ අපි අතර ඇති වුණේ ටිකක් දීර්ඝ කතාබහක්.මම ඒ දේවල් විස්තර කරන්න යන්නේ නැහැ, මොකද ඒ දේවල් ඔයාටත් අනුමාන කරන්න පුළුවන් නිසා..ඒත් ස්පෙන් මට මේ ටික කියන්න ඕනෑ.."


ෆින් මා දෙසට මඳක් නැඹුරු වී තරමක බැරෑරුම් ස්වරූපයක් මුහුණට ආරූඪ කර ගත්තා.


"මම කිව්වා ඔයාගේ කතාවේ ලොකු හිස්තැනක් තියෙනවා කියලා..කයිල්ව මුලින්ම හමුවෙද්දී එයා අහිංසක,කිසිම දෙයක් දිනා ගත්තේ නැති කෙනෙක්.එයාට එයා වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් ඕනම කාලෙදී ඔයාව මුණ ගැහුණා.ඒ රැකවරණය ඔයා උපරිමයෙන් දුන්නා.ඒත් ගායකයෙක් විදිහට එයාගේ දක්ෂකම් හඳුනගෙන ක්ෂේත්‍රයට පිවිසිලා තරඟයට ප්‍රවිෂ්ට වුණ ගමන් අර මුලින් දැකපු අහිංසක කයිල් ඔයාට දකින්න බැරි වුණා.ඒ වෙනුවට තරඟකාරී,තමන්ගේ ඉලක්කයටම හිස හරව ගත්ත, කාර්යබහුල කයිල් කෙනෙක් තමයි ඔයාට අන්තිමට දකින්න ලැබුණේ.නමුත් ඔයා තවමත් ආදරය කළේ පරණ කයිල්ටමයි.අන්තිමෙදී ඔයා මොකද කළේ..කයිල්ගේ වර්තමාන තත්ත්වය අනුව ඔයා එයා ගැන ප්‍රතිරූපයක් ගොඩ නඟා ගත්තා.හැබැයි ඒ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම වැරදිත් නැහැ නිවැරදිත් නැහැ.ඔයා කයිල් ගැන අන්තිමට හිතාගෙන හිටපු විදිහ ගැන විවෘතව කයිල් එක්කම කතා කළා නම්..බහින්බස් වීමකදි හරි..තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.ඒ වෙනුවට ඔයා කළේ එයාගේ වෙනස් වීම් ගැන දිගින් දිගටම විවේචනය කරපු එක..ඔයාට ඔයා ගැනම අනාරක්ෂිත හැඟීමක් එනවා කියලා එයාට කෙළින්ම කිව්ව නම්..විශ්වාස කරන්න..කයිල් හැමදේම ඔයා වෙනුවෙන් අතහරින්න වුණත් ලැහැස්ති මිනිහෙක්"


"එතකොට වගකියන්න ඕනේ සම්පූර්ණයෙන්ම මමද..?"


මම තරමක ආවේගයෙන් ඇහුවා..


"අපෝ නැහැ..කයිල් කළෙත් ඔයා කරපු වැරැද්දමයි..එයත් ගොඩනඟා ගත්තේ එයාගේ සිහිනය වෙනුවෙන් තමන්ට මුළින් උපකාර කරපු ඒ ආදරණීය මනුෂ්‍යයාම තමන්ට බාධකයක් වේ ගෙන එනවා වගේ වැරදි ආකල්පයක්..එයත් ඔයා ගැන හදා ගත්‍ත ප්‍රතිරූපය ගැන අල්ප මාත්‍රයක දෙයක් නොකියම ඔයාගේ වෙනස් වීම් විවේචනය කර කර හිටියා.දෙන්නා විවෘතව ආදරය කළාට ප්‍රශ්නයක් ඇති වුණ දා ඉඳන් ඒ විවෘතකම වළපල්ලට යැව්වා.කර ගන්න රණ්ඩුවක් ආදරය කළා වගේම විවෘතව කළා නම් අදටත් ඔය දෙන්නා නිව් යෝර්ක් වල ඉන්නේ ස්පෙන්සර්.."


"මට විශ්වාස නැහැ..ඔයා කියන තරම් අපි දෙන්නා අතර වුණ ප්‍රශ්න සරල නැහැ"


තවමත් මගේ හිතුවක්කාර විශ්වාසය ෆින් ගේ අදහස් වලට උඩින් තිබුණා..


"ඇත්තම කිව්වොත් ඔයාගේ හයිය කයිල් දිගටම බලාපොරොත්තු වුණා ස්පෙන්..එයා මට පුදුමාකාර කතාවක් කිව්වා.ඇත්තටම එතනදි මමත් සංවේදී වුණා.කවදාහරි කයිල් ග්‍රැමි සම්මානයක් දිනා ගන්න තරම් වාසනාවන්ත වුණොත්,ඒ සම්මානය ඔයාගේ අතින් අරගන්න තැනට වෙනකම්ම ඔයාගේ සහයෝගය එයා බලාපොරොත්තු වුණා..කයිල් ඒ තරම් ඔයාට ගරු කරනවා..ඔය දෙන්නා අතර තිබුණ සම්බන්ධය බිඳී යාම ගැන එයා ඉන්නෙ තවමත් කම්පනයෙන්.අදටත් එයා තනිකඩ ඒ නිසයි.අදටත් එයා වේදිකාව උඩටම වෙලා ඉන්න උත්සහ කරන්නේ ඒ නිසයි.ඔයා ආපහු පයින්ඩේල් යන්න ගත්ත තීරණය නිසා ඔයාව ආපහු හරවන්න බැහැයි කියලා එයා හිතුවා.හරියට කයිල් ගිවිසුම් අත්සන් කරලා ප්‍රසංග මාළාවට එකතු වුණාම අල්ලන්න බැරි තරම් ඈතකට කයිල් ගියා කියලා ඔයාට හිතුණා වගේ..ඒත් තවමත් පොඩි ඉඩක් ඉතිරි වෙලා තිබුණ බව මම ඒත්තු ගන්වපු ගමන් වෙච්ච දේ දැක්කනේ..කයිල් කණ්ඩායමේ කළමණාකාරීත්වය එක්ක පවා ප්‍රශ්න ඇති කරගෙන කෙළින්ම කැස්පර් නොගිහින් ඔයාව බලන්න ආවා..එක රැයෙන්..එක රැයෙන් ස්පෙන්..!"


ෆින් කතාව අවසාන කළේ යම් අවධාරණාත්මක භාවයකින්.එයින් මම තරමක් සසල වුණා..ෆින් ලෙමනේඩ් වීදුරුවක් පිළියෙල කොට මා ඉදිරියෙන් තැබුවා..


"ඔන්න ඔයාගේ ලෙමන් ගෙඩිය මම නිව් යෝර්ක් වල ඉඳන් ළඟටම ගෙනල්ලා දුන්නා..ඒකෙන් ලෙමනේඩ් එකක් හදාගන්න එක දැන් තමන්ගේ වැඩක්.."


මගේ ඇස් ඒ වෙනකොටත් කදුළින් තෙමී තිබුණ නිසා ෆින්ව පෙණුනේ දිය කඳකින් වැසී ගිය ආකාරයකට.මම කදුළු පිසදා ෆින්ගේ දර්ශනය පැහැදිලි කර ගත්තා..


"මම ඇත්තටම ඔයාට ආදරය කරන බව දැන දැනත් මේ වගේ කැප කිරීමක් කරන්නේ ඇයි ෆින්..?"


නිහඬවම මොහොතක් මා දෙස බලා සිටි ෆින්, අනතුරුව සුසුමක් හෙළුවා..


"හරි අමාරුයි ඒක.."


ඔහු කදුළින් පිරි දෙනෙතින් යුතුව බොහොම දුර්වල ස්වරයෙන් පැවසුවා.


"ඒත්..මං ඒක කරන්න ඕනෑ..ඇත්ත දැන දැනත් මට බොරු කරන්න බැහැ.මම කළිනුත් කිව්වනේ විශ්වාසය බිඳිලා යනකම්ම දෙන්නෙක් එකිනෙකාට අයිතියි කියලා.ඔය දෙන්නා ඇත්තටම දේවල් ඉවරයි කියලා හිතුවට ඇත්තටම ඒක තාවකාලික විරාමයක්.මම මුල් නොවුණත් වෙන ක්‍රමයකින් හරි ඔය දෙන්නා ආපහු එක්කහු වෙනවා.එක අහඹු හමුවීමක් වුණත් ඒකට ඇති.ඒක සොබාදහමෙම දෙයක් ස්පෙන්..
   අනික..මම ලොකු රැවටිල්ලක් කරපු මිනිහෙක්.මම මගේ ලිංගික දිශානතිය දැන දැනත් විවාහ වුණා.ලොකු බොරුවක් ඇතුළේ ජීවත් වෙන බව මට වැඩිකල් නොගිහින්ම තේරුණා.හැබැයි ඒ වෙනකොට මගේ  පවුල ඇතුළින්ම මට අරමුණක් නිකම්ම හැදිලා..ඒ තමයි මගේ දරුවා.එයාට අවුරුදු 17 පිරෙද්දී මම තීරණය කළා එළියට එන්න..මගේ බිරිඳ මට වෛර කළා මෑතක් වෙනකම්.ඒත් මගේ පුතාගේ මැදිහත් වීමෙන් ඒ දේවල් කාලයත් එක්ක සමහන් වුණා.අද මගේ හොඳම යෙහෙළිය වෙලා ඉන්නේ මගෙ කළින් බිරිඳ..හැබැයි මගේ හෘද සාක්ෂිය අදටත් වද දෙනවා ඒ අයට අවුරුදු විස්සක් තිස්සේ මම කරපු බොරුව නිසා.කවදාහරි මම වැඩියෙන් ආදරය කරන දෙයක් කැප කළොත් ඒ වරදකාරී හැඟීමෙන් ගැලවෙන්න පුළුවන් කියලා මම තදින්ම විශ්වාස කළා..අන්තිමට මට ඔයාව හම්බ වුණා ස්පෙන්..මගේ පවුලට පස්සේ මට හමුවුණ වටිනාම දේ.."


හැඟීම් වල චංචල බව නිසාමදෝ ෆින්ගේ මේසය මත තබා ගෙන සිටි අත යන්තමින් වෙවුලන්න පටන් ගත්තා.ඒ වෙවුලන අතින්ම තම කමිස සාක්කුවට අත දැමූ ෆින් එයින් යතුරු කැරැල්ලක් එළියට ගෙන මගේ අතේ මිට මෙළෙව්වා.


"ඔයාගෙන් සමුගෙන ගිය හැටියේ කයිල් මට ඇමතුමක් අරගෙන කිව්වා ඔයාගෙන් ලොකු වෙනසක් එයාට පෙණුනේ නැහැ කියලා.එයා හිටියේ ලොකු දුකකින් ඒ ගැන..ඒත් මම උපදෙස් දුන්නා මම ඔයාව මුණ ගැහිලා කතා කරනකම් කැස්පර් යන්න එපා කියලා.කයිල් දැන් පයින්ඩේල් නගර සීමාවේ තියෙන බේමොන්ට් නවාතැන්පළේ කාමරයක් අරගෙන ඉන්නවා.ගිහින් එයාව හම්බ වෙන්න..ඉක්මණයට යන්න.."


තවමත් මම හිටියේ දෙලොවක් අතර තනිවෙලා..ඒ දෙලොව අතර මට දවසම වුණත් හිරවෙලා ඉන්න පුළුවන්කම තිබුණා..


"යන්න ඉතින්..!!"
ෆින්ගේ විධානයෙන් මම තිගැස්සුණා..


"මම ඔයාට යන්න දෙනවා..ගිහින් මාවත් නිදහස් කරන්න"


ෆින් ආයාචනාත්මකව පැවසුවා..


මාස කිහිපයකට පෙර මවිසින් මරා දැමූ සිතුවිලි ගොන්නක්ම එකින් එක පණ ගසා යළි උත්ථාන වෙන්න පටන් ගත්තා.එයින් නැඟුණ ජවයෙන් මම ෆින්ගේ වාහනයේ යතුරු කැරැල්ලත් මිට මොළවගෙන දොරටුව වෙත වේගයෙන් පිය මැන්නා.නමුත් ක්ෂණිකවම මම නතර වී ආපසු හැරී බැලුවා.ෆින් බිමට හරවා ගත් මුහුණෙන් යුතුව කොහෙදෝ අනන්තයක රැඳිලා හිටියා.ඔහු වෙත නැවත පැමිණි මම හැකිතරම් ඔහුව මගේ පපුවට තද කර ගත්තා..


"මම ආපහු එනවා..ඔයාට ඔයාව අතහරින්න බැහැ මම ඉන්නකම්.."


එලෙසින් ෆින්ගේ කනට කෙඳිරූ මම ඊළඟ මොහොතේ කිසිදු පමාවකින් තොරව බේමොන්ට් නවාතැන්පළ බලා පිටත් වුණා.


මගේ කතාවේ ඊළඟ පරිච්ඡේදය ඇරඹුණේ ඔන්න ඔය විදිහට..අවුරුදු දෙකක් ඉක්ම ගිය තැන කයිල් තම සංගීත කණ්ඩායමෙන් ඉවත් වී තනිව ගමනක් යෑමට තීරණය කළා.ඒ වෙනුවෙන් ඔහුට මගේ විශ්වාසය පමණක් ප්‍රමාණවත් වුණා.කයිල්ගේ කුළුදුල් ඒක පුද්ගල ගීත ඇල්බමය බිල්බෝඩ් ගීත දර්ශකයේ පළමු දහය අතරට ආවා..ඔහු ග්‍රැමි සම්මානයටත් නිර්දේශ වුණ නිසා දැන් ඉන්නේ ඒ ගැන බලාපොරොත්තුවෙන්.


කයිල් නිදහසක් ලැබුණ හැම වතාවකදිම පයින්ඩේල් වල පිහිටි අපේ නිවසේ කාලය ගත කරන්න දැඩි රුචිකත්වයක් දැක්වූවා..අන්‍තිමේදී "පවුලේ එකම දරුවා" නම් ස්ථානය පවා කයිල් මගෙන් පැහැර ගත්තා.මම අසාර්ථකයි කියා මගේ කාමරයේ පැත්තක ගොඩ ගසා තිබූ තිර පිටපත් ගොන්නෙන් එකක් එලෙස ආ වේලාවක කයිල් හොරෙන්ම රැගෙන ගොස් තිබුණා.ඒ හොරකමේ අන්තිම ප්‍රතිඵලය වුණේ හොලිවුඩ් වල ප්‍රකට නිෂ්පාදකවරයෙක් මගෙන් හමුවීමක් බලාපොරොත්තු වුණ එක..


එතකොට ෆින්..ඒක තමයි අමාරුම වැඩේ..මිනිහව පීල්ලකට දාගන්න මම ගත්ත හැම උත්සාහයක්ම අසාර්ථක වුණා.ඒත් මට එක දෙයක් අමතක වෙලා තිබුණා..ඒ තමයි මේ ලෝකයේ අනපේක්ෂිතම දෙය ආදරය බව..මටත් වඩා ළාබාල තරුණයෙක් ෆින් වෙනුවෙන්ම බොස්‍ටන් වල ඉපදිලා හිටියේ ඒ අනපේක්ෂිත බව නැවත නැවත අපි කාහටත් පසක් කරමින්..කයිල් නැවත මගේ ජීවිතය තුළට ගෙන ඒමෙන් ෆින් මට ඉතිරි කරගිය ණය පියවීමට මඟක් සොයමින් සිටි මම, අවසානයේ ෆින්ගේ විවාහ උත්සවයේ සැලසුම්කරුවා ලෙස බලහත්කාරයෙන්ම ඉදිරිපත් වුණේ එලෙසින් හරි ඒ ණය පියවිය යුතු නිසයි..ෆින් කියපු විදිහටම මට අවශ්‍ය දේ මං ළඟින්ම හම්බ වුණා..මගේම උපන් ගම් පියසෙදි..


It's where I keep my heart
Where I plant my roots
Where my soul comes from
Where I learned to sing the blues


Raised on the saving grace
How to live and love
My secret hiding place
When the world's too much


Let the new shine fade
Let the lights burn out
Let the time slip away
And bury me in that ground


When I'm all used up
And I'm old and grey
When the well runs dry
And my mind just ain't the same
Won't you set me free
Where the tall pines stand
Where I was born to be
Back in my "HOMELAND"


~අවසානයි~
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6471
Member Since : 2016-07-07

H O M E L A N D  Empty Re: H O M E L A N D

2020-05-20, 8:52 pm
ලස්සනයි!  pride pride pride Thank you Thank you Thank you
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8869
Member Since : 2013-10-18

H O M E L A N D  Empty Re: H O M E L A N D

2020-05-20, 9:49 pm
ගත්ත ගමන් එක හුස්මට කියවගෙන ගියා. වතාවක් දෙකක් සමහර තැන් වලින් හිත ගලව ගන්නත් බැරි වුණා.


ගොඩක් ස්තූතියි ඇසෝ කාලය වෙන් කිරීමට සහ ලස්සනම කතාවකට.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12477
Member Since : 2013-05-31

H O M E L A N D  Empty Re: H O M E L A N D

2020-05-20, 10:10 pm
පළමු මුද්‍රණයෙන්ම කියෙව්වා මල්ලී, ඒත් මෙතනත් වචනයක් කියන්න වටිනවා කියලා හිතුවා ඔයාගේ රසිකයෙක් විදිහට.I love youI love youI love youI love youI love youI love you
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5125
Member Since : 2018-01-24

H O M E L A N D  Empty Re: H O M E L A N D

2020-05-20, 11:12 pm
Aththamai aiye mara lassanai kathawa dakkata kiyauwe na welaw arn eka para kathawma kiyauwa marama lassanai mara හැඟීම්බර kathwak thank u oyata hamadama me wage katha liyanna budusaranai I love youI love youI love youI love youI love youI love youI love youI love you
Sponsored content

H O M E L A N D  Empty Re: H O M E L A N D

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum